බලයට එන්න කුලල් කන්නේ නැතිව රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න

බලයට එන්න කුලල් කන්නේ නැතිව රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න

අස්ගිරි මහා නායක හිමියෝ විපක්ෂයෙන් ඉල්ලති

බලයට පත්වූ රජයක් පෙරළීම සඳහා හැම අවස්ථාවකම කටයුතු කිරීම නතරකර රටට තර්ජනයක් එල්ලවන මේ අවස්ථාවේ රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කිරීම විපක්ෂයේ කාර්යභාරය බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියෝ පැවසූහ.

බලයට ඒම සඳහා කුලල්කා ගැනීම නවතා බැරෑරුම් අවස්ථාවේ සියලුදෙනා රට පිළිබඳ සිතා ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ කීහ.

අස්ගිරි මහ නාහිමියෝ මේ අදහස් පලකළේ නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා ඊයේ (29) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ එල්ලවන මේ අවස්ථාවේ සැවොම එක්වී එය පරාජයට පත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රජය පෙරලා දැමීමට ක්‍රියා කිරීම සුදුසු නොවන බවත් උන්වහන්සේ පැවැසූහ.

ඇතිවී තිබෙන තත්ත්වයෙන් රට මුදා ගැනීමෙන් පසු දේශපාලනය කළ හැකි බවත් මේ අවස්ථාවේ රටේ ජනතාව පක්ෂ වශයෙන් බෙදී සිටීම රටට එරෙහි ජාත්‍යන්තර බලවේග ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවත් මහා නාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් අප රටට එරෙහිව ගෙනයන මේ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සාමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු රටවල් සහාය දෙන බව පැවසුවේය.

නියෝජ්‍ය ඇමැතිවරයා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු මහ නාහිමියෝද බැහැදුටුවේය. එම අවස්ථාවට ගාමිණි ගුණවර්ධන මහතා ද සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා