ශ්‍රී ලංකාවට සහාය දක්වා රටවල් රැසක උද්ඝෝෂණ

ශ්‍රී ලංකාවට සහාය දක්වා රටවල් රැසක උද්ඝෝෂණ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් සැසිය වෙත යෝජනාවක් ගෙන ඒමේ සූදානමට විරෝධය පළ කරමින් විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ලෝකයේ රටවල් රැසක දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

ඒ අනුව ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම්කර තිබෙන අතර ඉතාලියේ මිලානෝ නගරයේ දී පසුගියදා පැවැති උද්ඝෝෂණය අති සාර්ථක වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ විරෝධතා ව්‍යාපාර ඒ ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන අතර ඒ සඳහා ලෝකයේ විවිධ සංවිධාන සහාය දක්වන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන රටවලදී මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒවා ජගත් මානව හිමිකම් සමුළුවේ සැසිවාරය අවසන් වන තෙක් පැවැත්වීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර ඒ ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් මානව හිමිකම් වලට මුවාවී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගසමින් රටේ සම්පත් කොල්ලකෑමට උත්සාහ කරන බවය.

කෙසේ වුවද එවැනි තත්ත්වයක් සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද ඔවුන් අවධාරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා