දෙමළ සරණාගතයෝ 100ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරති

දෙමළ සරණාගතයෝ 100ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරති

52ක් යළි මවුබිමට

නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයන් 100දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි තම රටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණයකර ඇත.

පිටුවහල් කළ මේ සරණාගතයන් පිරිසෙන් 52දෙනකු ඊයේ (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර පසුගිය මාස කිහිපයේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකික සරණාගත කණ්ඩායම් තුනක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

එවැනි පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහයෝගය ලබාදී තිබේ. මෙලෙස නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවද ඒ වෙනුවෙන් තානාපති අංශ දැනුවත් කර තිබෙන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් නීතිවිරෝධී සරණාගතයන් වශයෙන් විදේශීය රටවලට යාමේ අවශ්‍යතාවක් නොමැති බවත් නිදහස් හා සාමකාමී ලෙස රටේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා