සුපිරි ධාවන සූරයන් ගැටෙන ‘සීගිරිය රැලි ක්‍රොස්’ 4දා

සුපිරි ධාවන සූරයන් ගැටෙන ‘සීගිරිය රැලි ක්‍රොස්’ 4දා

මෙරට යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරග පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ දස්කම් ඇතුලත් ‘සීගිරිය රැලි ක්‍රොස් - 2012 තරගාවලිය මේ මස 4 වැනිදා සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන මේ තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) පූර්ණ සහයෝගය ඇතිව පැවැත්වේ.

ලංකා බැංකුවේ අතිරේක සාමාන්‍යාධිකාරි කේ.එල්. ධර්මසිරි මහතා විසින් ගුවන් හමුදා මෝටර් රථ තරග කමිටු සභාපති එයාර් කොමදෝරු සංජක විජේමාන්න මහතාට සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත බාර දෙනු ලැබූ අයුරු. ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිණි එස්.එස්. ඒකනායක මහත්මිය සහ ගුවන් හමුදා මෝටර් රථ තරග කමිටු ලේකම් ගෲප් කපිතාන් හේමන්ත සොයිසා මහතා ද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් නිශාන්ත

තරග ඉසව් 22 ක් සඳහා ක්‍රීඩකයන් 120 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියට සුපුරුදු පරිදි ඉන්දියාවේ සුපිරි යතුරු පැදි ධාවන සූර සී.එස්.සන්තූෂ් ද තරග වදියි. නමුත් පසුගිය කාලය පුරා මෙරට යතුරු පැදි ධාවන තරගවල දස්කම් පෑ තවත් සුපිරි ඉන්දීය ක්‍රීඩකයකු වන කේ.පී. අරවින්ද් ආබාධයකට ලක්වී සිටින බැවින් මේ තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ.

යතුරු පැදි ධාවන ඉසව් 13 ක්, මෝටර් රථ ධාවන ඉසව් 8 ක් සහ ජීප් රථ ධාවන ඉසව්වක් ඇතුලත් මෙවර තරගාවලියට පළමුවරට කණ්ඩායම් සූරතාවක් ද ඇතුලත් වේ. ඒ අනුව දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 6 ක් මෙවර සීගිරිය රැලි ක්‍රොස් තරග බිමට පිවිසෙති.

ක්‍රීඩා ලෝලීන් අතර වඩාත්ම ආකර්ශණීය තරග ඉසව් ලෙස සැළකෙන හමුදා තරග ඉසව්වක් ද අවුරුදු 10 න් පහළ යතුරු පැදි, 13 න් පහළ යතුරු පැදි සහ 16 න් පහළ යතුරු පැදි ඉසව් ද මීට ඇතුලත් ය.

ඒ හැරුණු විට මෝටර් රථ තරග බිමේ ත්‍රාසජනක තරග ඉසව්වක් වන එස්.එල්. එච්.කාණ්ඩයේ අශ්ව බල 1600 මෝටර් රථ තරග ඉසව් 2 ක්ද, අශ්වබල 3500 කාණ්ඩයේ මෝටර් රථ තරග ඉසව් 2 ක් ද තරගාවලියට ඇතුලත් ය. එමෙන්ම යතුරුපැදි තරග ඉසව් අතර ප්‍රධානතම තරගයක් වන අශ්වබල 125 - 250 යතුරු පැදි තරග ඉසව් 2 ක් ද තරගාවලියට ඇතුලත්ව තිබේ.

සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියේ හොඳම මෝටර් රථ ධාවකයාට දයේනු සමරසිංහ අනුස්මරණ අභියෝගතා සූරතාව ද, හොඳම යතුරු පැදි ධාවකයාට ගුවන් හමුදා අභියෝගතා සූරතාව ද පිරි නැමේ.

මෙරට මෝටර් රථ තරග බිමේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන පසිඳු පීරිස්, අරවින්ද ප්‍රේමදාස, දිනේෂ් දෙහෙරගොඩ, උපුල්වන් ජයසිංහ, ජනක ඩයස්, අෂාන් සිල්වා ඇතුලු මෝටර් රථ ධාවන සූරයන් සහ යතුරු පැදි සූරයන් අතර පෙරළිකාරයන් වන ගයාන් සඳරුවන්, ශෙහාන් අධිකාරි උදික ශ්‍රීමාල් ඉන්දීය ක්‍රීඩක සී.එස්.සන්තූෂ් ඇතුලු ක්‍රීඩකයන් මේ අභියෝගතා සූරතා සඳහා සටන් වදිති.

ගුවන් හමුදා සුබසාධන ව්‍යාපෘතිය සඳහා වන අරමුදලකට මේ තරගාවලියේ සියලු ආදායම් බැර කෙරෙන බැව් ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලිය සම්බන්ධව පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් විය.

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් ලංකා බැංකුව කටයුතු කරන අතර මහජන බැංකුව සහ සියැට් ආයතනය සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.

සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දරනු ලබන්නේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම(ලේක්හවුස්) විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා