සිරියාවේ තත්ත්වය වාසියට හරවා ගන්න අල්කයිඩාව මාන බලනවා

සිරියාවේ තත්ත්වය වාසියට හරවා ගන්න අල්කයිඩාව මාන බලනවා

ධවල මන්දිරය කියයි

සිරියාවේ පවත්නා ප්‍රචණ්ඩකාරී තත්ත්වය අල්කයිඩා සංවිධානය සිය වාසියට හරවා ගැනීමට ප්‍රයත්න දරන්නේ නම් එරට ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහි විරෝධ කණ්ඩායම් වෙත අවිආයුධ යැවීමට මෙය කාලය නොවේ යැයි ධවල මන්දිරයෙන් ප්‍රකාශ කර තිබේ.

සිරියානු ජනාධිපතිවරයා විසින් විපක්ෂ කණ්ඩායම් මත මුදාහැර ඇති මර්දනකාරී ප්‍රහාර නිසා මතුව ඇති තත්ත්වය තම වාසියට හරවා ගැනීමට අල්කයිඩාව හා සෙසු අන්තවාදී කොටස් මාන බලන බවට තොරතුරු ලැබී ඇතැයි ධවල මන්දි‍ර ප්‍රකාශක ජේ. කානේ පවසා ඇත.

මෑතකදි අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි සිරියානු විපක්ෂ කැරලිකරුවන්ට සහයෝගය පලකරන බව ප්‍රකාශ කර තිබිණ. කානේ පවසන්නේ, අල්කයිඩාව සිරියාව ඇතුළු කලාපයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් සහයෝගය දක්වන බව පෙන්වන ප්‍රතිරූපයක් සැදීමට උත්සුකව සිටින බවය. එහෙත් එම සංවිධානයේ ඉතිහාසය හා ඔවුන්ගේ ක්‍රියාදාමය ඊට පටහැනි වූවක් බවද ඔහු කියා ඇත.

මේ තත්ත්වය යටතේ සිරියානු විරෝධතා කණ්ඩායම් සන්නද්ධ කරනවාට වඩා කළ යුත්තේ බලයෙන් ඉවත්වීමට හා හමුදාව මගින් කෙ‍රෙන වි‍රෝධතා මර්දනයට සිරියානු ජනාධිපතිවරයාට බලපෑම් කිරිම බවද ඔහු කියා තිබේ .

ඉකුත් සතියේ රිපබ්ලිකන් සෙනේට් සභිකයකු සිරියානු හමුදා ඝාතන ගැන කරුණු දක්වමින් එරට විරෝධතාකරුවන් සන්නද්ධ කළ යුතු බව කියා තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා