මේ තීරණාත්මක අවධියේ රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කළ යුතුයි

මේ තීරණාත්මක අවධියේ රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කළ යුතුයි

- මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි

මේ තීරණාත්මක අවස්ථාවේ සියලු දෙනාම රට පිළිබඳ හැඟීමකින් කටයුතු කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ප්‍රකාශ කරති.

සියලු භේද පසෙකලා රටේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් එක මතයක සිට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බවද උන්වහන්සේ අවධාරණය කරති. මල්වතු මහ නාහිමියෝ මේ බව ප්‍රකාශ කළේ උන්වහන්සේ බැහැ දැකීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

මහජන චීනය සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාර්ථකව පැවැතීම විශාල ශක්තියක් බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ 1956 සමාජ පෙරළියට නායකත්වය දුන් විද්‍යාලංකාර මහා පිරිවෙන පංච මහා බලවේගයටම ශක්තිය සැපයූ බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවද පැවසූහ.

මෙහිදී අදහස් පළ කළ ගීතාංජන ගුණවර්ධන මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ පවතින වාණිජ සම්පත අත්පත් කර ගැනීම සඳහා අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බවය. ඉන්දීය සාගරයේ පිහිටි ශ්‍රී ලංකාවට අතීතයේ සිටම විවිධ බලපෑම් පැමිණි බව සිහිපත් කළ ඒ මහතා ඒ නිසාම අපේ රට අවුල් කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවත් මේ සම්බන්ධයෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අප්‍රසාදය ඔවුනට පළකරන බවත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා