ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ උත්සාහයක්

ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ උත්සාහයක්

දෙමළ ඊළම සහිත සාමයක් බලා පොරොත්තු වූ අධිරාජ්‍යවාදීන්ට ලැබුණේ දෙමළ ඊළම රහිත සාමයක් බැවින් ඔවුන් වෛරයෙන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක , ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව දිනාගත් සාමය නැති කරන අන්තර්ජාතික දෙමළ කල්ලි මේ රටතුළ නැවත ඇතිකිරීම බටහිර බලවේග වල ඉලක්කය බව ද හෙතෙම පැවසිය. දිනා ගත් සාමය උදුරා ගෙන පරාජය කළ එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නැවත රටතුළ පණ ගන්වන්නට හදන වෑයම පරාජයට පත් කල යුතු බවද කීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ඊයේ(02) ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී ඇමති විමල් වීරවංහ මහතා මෙසේද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුඵවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරනවා.එහිදි ඔවුන් ශ්‍රී ලංකාවට බලපාන තියුණු කරුණු ඉදිරිපත් කරන්නට බලා පොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරන්නට කටයුතු කළ ජනාධිපතිවරයා ඇතුඵ හමුදාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්නටත් ඒ හරහා රට තුළ දේශපාලන අස්ථාවරභාවය ඇති කරන්නටත් ඔවුන් අරමුණු කර ගෙන සිටිනවා. යුධ අපරාධ සිදු කළ රුද්‍ර කුමාරන් අද සනීපයට අමෙරිකා එක්සත් ජනපදයේ සිටිනවා. ඔහුත් යුද අපරාධ සිදු කළ කෙනෙක් .නමුත් ඔහුට යුධ අපරාධ චෝදනා එල්ල කළේ නැහැ. මිනී මැරූ කොටි ත්‍රස්තවාදීන් ඔවුන් වීරයො කර තියෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය පකිස්ථානයේ ගුවන් සීමා ආක්‍රමණය කරලා හැංගිලා හිටිය බින් ලාඩන් මරල මළ මිනිය මුහුදට දැම්මා. බැරැක් ඔබාමා ඒ ගැන මහ උජාරුවෙන් කතා කළා. අමෙරිකන් හමුදාව යුධ වීරයන් වුණා බලවත් ත්‍රස්ත නායකයකු වූ ප්‍රභාකරන් මරාදාපු එකට කියනවා යුධ අපරාධ සිදු කළා කියලා.මේ නිසා බටහිර අධිරාජ්‍යවාදි බලවේග වල අරමුණ පැහැදිලියි. මෙම කරුණු පිළිබද ජනතාවගේ අවධානය යොමු කර ප්‍රබල ජන මතයක් රටතුල ස්ථාපිත කළ යුතුයි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ කොළඔ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මෙහොමඩ් මුසම්මිල් යන මහත්වරුද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා