බදුල්ලේ එජාප පාක්ෂික හමුව හූ හඬ මැද නිමාවේ

බදුල්ලේ එජාප පාක්ෂික හමුව හූ හඬ මැද නිමාවේ

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයට එල්ලවූ මැර ප්‍රහාරය ඇතුළත් වීඩියෝ පටය ඊයේ (2) බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට පෙන්වූ අවස්ථාවේ දී එජාප පාක්ෂිකයන්ගෙන් එල්ල වූ හූ හඬ සහ දැඩි විරෝධය කලහකාරි තත්ත්වය හේතුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම වීඩියෝ පටය අතරමගදී නවතා දමන්නට සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂික හමුව ඊයේ (2) බදුල්ල ඔනෙක්ස් හෝටලයේ පැවති අවස්ථාවේදී මෙම වීඩියෝ පටිය පාක්ෂිකයින්ට නැරැඹීමට අවස්ථාව සැලසූ අවස්ථාවේදී එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙසේ කලහකාරි ලෙස හැසිරුණහ.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා විසින් මෙම (එජාප) පාක්ෂික හමුව සංවිධානය කර තිබිණ. විපක්ෂ නායකවරයාගේ කථාවෙන් අනතුරුව සිරිකොත මැර ප්‍රහාරය ඇතුළත් වීඩියෝ පටය මෙසේ සිය එජාප පාක්ෂිකයින්ට පෙන්වීමට ඉඩකඩ සැලැස්වූහ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් , කාන්තාවන් සිය අසුන්වලින් නැගිට හූ හඬ දෙමින් වීඩියෝ පටය නොබලා කලහකාරි ලෙස හැසිරුනහ. ඒ සමඟම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා ආම්පන්න කට්ටල වහා හකුලාගෙන ඉවත් කර ගන්නා ලෙසට උපදෙස් දුන්නේ ය.

මෙහිදී විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හටගත් අතර, එය සමථයකට පත් කිරීම සඳහා මෙම පාක්ෂික හමුව සංවිධානය කළ හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එජාප මන්ත්‍රි කණ්ඩායම කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටියහ.

අවසානයේ සිරිකොතට එල්ල වූ ප්‍රහාරය ඇතුළත් වීඩියෝ පටය නැවැත්වීමත් සමඟම එජාප පාක්ෂික පිරිස ශාලාවෙන් නැගිට ගියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා