මත්තේගොඩ වැව් දෙකක් වසර ගණනකින් පිළිසකර කර නෑ: ජලජ පැළෑටිවලින් වැහිලා

මත්තේගොඩ වැව් දෙකක් වසර ගණනකින්
පිළිසකර කර නෑ: ජලජ පැළෑටිවලින් වැහිලා

* වැව් රක්ෂිතයේ ගස් කපා භූමිය අල්ලාගෙන

* අපද්‍රව්‍ය වැව් ජලයට මුසුවීමෙන් මත්ස්‍ය සම්පත විනාශයි

මත්තේගොඩ මහ වැව හා කුඩා වැව ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා වැව් දෙකේ විශාල කොටසක් වල් පැළෑටි හා අපද්‍රව්‍යවලින් පිරී පවතින බව මත්තේගොඩ ප්‍රදේශවාසීහු පවසති. මහ වැව අක්කර හයක් පමණ වන අතර, කුඩා වැව අක්කර හතරක් පමණ වේ.

හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී (මත්තේගොඩ) ඩික්සන් ගාමිණී මහතා - මත්තේගොඩ මහ වැව අක්කර හයක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වුවත්, මේ වන විට වැව අවට ඇතැම් ආයතන හා පුද්ගලයන් අල්ලාගෙන තිබෙනවා. මේ නිසා අක්කර හයක පමණ තිබූ වැව, අක්කර හතරකට පමණ සීමා වී තිබෙනවා. මීට අමතරව එම ආයතන හා පුද්ගලයින් වැවට අපද්‍රව්‍ය බැහැර කරනවා. මේ නිසා වැවේ සිටි මසුන් හා වරින් වර මුදා හළ කැට්ලා, තිලාපියා වැනි මසුන් දස දහස් ගණනක් මිය ගොස් තිබෙනවා.

සරත් ගමගේ මහතා - මීට වසරකට පෙර මහ වැව ප්‍රතිසංස්කරණය කළා. ඒ සඳහා රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න මුදලක් රජය වැය කර ඇතත් ඉන් ප්‍රයෝජනයක් ලැබී නැහැ. අඩුම වශයෙන් ප්‍රතිසංස්කරණ කිරීමේ දී වැවේ ප්‍රධාන සොරොව්ව වත් නිසි ලෙස සාදා නැහැ. මත්තේගොඩ කුඩා වැව වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණයක් කර නැහැ. මේ වැවත් දිනෙන් දින අපද්‍රව්‍යවලින් පිරී ඉතිරී යන අතර, වැව් රක්ෂිතයේ තිබූ වටිනා ගස් වර්ග රැසක් කපා ගෙන ගොස් තිබෙනවා. මේ වැව ආරක්‍ෂා කර දීමට අදාළ ආයතන පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

කුඩා වැව රක්‍ෂිතයේ තිබූ ගස් කපාගෙන ගොස් ඇති අයුරු

මත්තේගොඩ මහ වැවේ වල් පැළෑටි හා අපද්‍රව්‍ය වලින් පිරී පවතින අයුරු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා