කාන්තා අයිතිවාසිකම් දිනාගන්නට පුරුෂ පක්ෂයේද සහාය අවශ්‍යයි

කාන්තා අයිතිවාසිකම් දිනාගන්නට පුරුෂ පක්ෂයේද සහාය අවශ්‍යයි

තිස්ස කරල්ලියද්ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය

* ජාත්‍යන්තර කාන්තා දිනය අප මෙවර සමරන්නේ කුමන ආකාරයෙන්ද?

ජාත්‍යන්තර කාන්තා දිනය අප රටටත් ඉතාම වැදගත් දිනයක්. ලොව පුරා කාන්තාවන් කෙරෙහි අවධානයක් ඇතිකිරීම අරමුණු කරගත් මෙම දිනයේදී කාන්තාවන්ගේ යහපත උදෙසා විවිධ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමද සිදුකෙරෙනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ජාතික සැමරුම් උත්සවය ‘ගැහැනු දරුවා සුරකිමු’ තේමාව ඔස්සේ සැමරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම ජාතික උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ආරාධිතයන් රැසක්ද මෙයට සහභාගිවනවා.

අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාන්තා කාර්ය සංවිධානවල කාන්තාවන් 3000ක් පමණ මේ අවස්ථාවට සහභාගි වනවා. උතුරු නැඟෙනහිර පළාත්වල කාන්තාවන් වැඩිවශයෙන් සහභාගි වීම මෙවර කාන්තා දින ජාතික උත්සවයේ විශේෂත්වයක්.

විවිධ ක්ෂේත්‍ර හරහා රටට සුවිශේෂී සේවාවක් කරන කාන්තාවන්ගේ සේවා අගය කිරීමේ උපහාර දැක්වීමක්ද, පළාත් මට්ටමින් සමාජයට හා කාන්තා සංවර්ධනයට විශේෂ දායකත්වයක් දැක්වූ කාන්තාවන් 09 දෙනකුට ගෞරව ප්‍රණාම පුද කිරීමට සැලසුම් කර තිබෙනවා.

රටේ තීරණ ගන්නා ක්‍රියාවලියේ දී රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ කාන්තාවන්ගේ චරිත අළලා සැකසූ අත්පොතක් එළිදැක්වීමද අද (08) සිදුවනවා.

* ‘ගැහැනු දරුවා සුරකිමු’ තේමාව තෝරාගැනීමේ විශේෂත්වයක් තිබෙනවාද ?

ඔව්. අමාත්‍යාංශයක් ලෙස ගත්විට මේ අමාත්‍යාංශය කාන්තාවන්ට මෙන්ම දරුවන්ටත් සම්බන්ධ අමාත්‍යාංශයක් : කාන්තාවගේ මුල් අවදිය ‘ගැහැනු දරුවා’යි. ගැහැනු දරුවා සුරක්ෂිත නොවුණහොත් අපට ‘කාන්තාව‘ නිර්මාණය කර ගත නොහැකියි. ගැහැනු දරුවන් සුරක්ෂිත කරගැනීම අනාගතයද සුරක්ෂිත කර ගැනීමක් වනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාව වෙන්කර සැලකීම ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සමාජ ලක්ෂණයක්. කාන්තාවන්ට එරෙහිව සිදුවන බරපතල ප්‍රචණ්ඩත්වය හිංසනයයි. පහරදීම්, ලිංගික අතවර, මානසික හිංසනය, අපයෝජන , ඝාතන ආදියට ගොදුරුවන්නේ අපේ කාන්තාවන්.

ඒ අතරින් මෙම සිද්ධීන්වලට පහසුවෙන්ම ගොදුරුවන්නේ ගැහැනු දරුවන්. අනාගතයේදී බිරිඳක මවක ලෙස සමාජයේ වැඩි වගකීම් දරන්නට වන ගැහැනු දරුවාට සුරක්ෂිත හෙට දිනක් උදාකරලීමේ සමාජ අවශ්‍යතාවක් මතුවී තිබෙනවා.

රටක ආර්ථික සමාජීය දේශපාලන පසුබෑම වැඩිවශයෙන් දැනෙන්නේ ගැහැනු දරුවන්ට. ඒ පවුල නැමැති කුටුම්භයේ දී පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි අවශ්‍යතාවල හිමිකම් අඩුවීම තදින් බලපාන්නේ කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට. මේ නිසා කාලීන මාතෘකාවක් වන ‘ගැහැනු දරුවා සුරකිමු’ තේමාව කෙරෙහි අප වැඩි අවධානයක් යොමුකළා.

* පැවැති යුද්ධය අපේ ගැහැනු දරුවන්ට බලපෑ ආකාරය ඔබ දකින්නේ කෙසේද?

යුද්ධයේ සාපය දැඩිව බලපෑවේ අපේ ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට. පාසල් යන වයසේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය යුද්ධය නිසා ඔවුන්ට අහිමිවුණා. ළමයින්ට ළමා කාලය, දූදරුවන්ට මව්පියන්ට අහිමිි කළ ඒ සාපලත් යුද්ධය ගැහැනු දරුවාගේ ළමා කාලය, යෞවනත්වය අනාථ කඳවුරුවලට කොටුකර තැබුවා.

ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් තුවක්කු, බෝම්බ අතට දී තරුණ ගැහැනු ළමයින්ව අවාසනාවන්ත ඉරණමක් කරා ගෙනගියා. එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡයන් අතින් අපයෝජනයට , දූෂණයට ලක්වූ උතුරේ ගැහැනු දරුවන් පිළිබඳ අප කතා කරන්නේ ඉතා කනගාටුවෙන්.

යෞවනත්වයේ මිහිර විඳින්නට අවැසි උතුරු නැඟෙනහිර ගැහැනු දරුවන් පමණක් නොවෙයි. අපේ ආරක්ෂක අංශ නියෝජනය කළ වීරෝධාර රණවිරුවන්ගේ දියිණියන්ට, සොහොයුරියන්ටද යුද්ධය නිසා උරුම වුණේ කඳුළ සහ වේදනාව පමණයි. රතිඤ්ඤා හඬින් තිගැස්සෙන ගැහැනු දරුවන් අදත් උතුරු නැගෙනහිර ඉන්නවා. අනාගතයේ බිරිඳක මවක ලෙස සමාජයේ නියෝජනය කරන මෙම ගැහැනු දරුවන්ගේ මානසිකත්වය පහත වැටී ඇති අයුරු සිතන විට යුද්ධය අපේ ගැහැනු දරුවාගේ අනාගතයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා.

* යුද්ධයේ තතු එසේ වෙනත් ජිනීවාහිදී අප රටට චෝදනා එල්ල වී තිබෙන්නේ අප රජය මානව හිමිකම් කඩ කර ඇති බවටයි?

ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක මානුෂීය මෙහෙයුමේදී අපගේ ආරක්ෂක හමුදා අතින් මානව හිමිකම් කඩවූ බවට ඔවුන් ඒත්තු ගන්වන්න උත්සහ කරනවා. ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වන එල්.ටී.ටී.ඊ.ය පරාජය කර රටට සාමය උදා කර ගන්නට අපට අවස්ථාව ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය නිසයි.

ත්‍රස්තවාදයෙන් පීඩා විඳීන ලොව බොහෝ රටවලට තවමත් එයින් ගැලවෙන්නට හැකියාවක් ලැබී නැහැ. ඇමරිකාව පවා නිරන්තරයෙන්ම ත්‍රස්තවාදයෙන් බැට කන රටක්. ලෝකයේ බලවතුන් ත්‍රස්තවාදයෙන් බැට කනවිට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ත්‍රස්තවාදය පරාජය කිරීම මේ බලවතුන්ට උහුලා ගන්නට බැරිවී තිබෙනවා. ඒ නිසයි මේ ‘ජිනීවා’ කලබලය ඇති කරන්නේ. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවත් එයට “ පොහොර දමනවා’.

ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා නිසා මානව හිමිකම් අහිමි වුණු අපේ රටේ අහිංසක මිනිසුන් ගැන එදා ඔවුන් කතා කළේම නැහැ. යුද්ධයෙන් වැඩි වශයෙන්ම පීඩා වින්දේ කාන්තාවන්. ඔවුන්ගේ දරුවන්, ස්වාමිපුරුෂයන්, මව්පියන් අහිමිවන විට තම දරුවන් බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ. යට බඳවා ගන්නාවිට මේ කවුරුන් කතා කළේ නැහැ. එදා එල්.ටී.ටී.ඊ.යට විරුද්ධවූ සියලු දෙනා ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත්වුණා.

අම්මලා, ඉදිරියේදීම දරුවන් පොළොවේ ගසා මරා දැම්මා. ගැහැනු දරුවන්ගේ අනාගතය අඳුරු කරමින් ඔවුන්ව දූෂණය කළා. මා නියොජනය කරන මැදවච්චි, කැබිතිගොල්ලෑව පදවිය ප්‍රදේශ උතුරටත් නැගෙනහිරටත් මායිම්ව පිහිටි යුද්ධයේ සාපලත් ප්‍රදේශ නිසා මේ දේවල් මා ඇහෙන් දුටු කෙනෙක් ලෙස ඕනෑම ජාත්‍යන්තරයක දී ඒ දේවල් පවසන්නට මට හැකියාව තිබෙනවා. දරුවන්ව , ස්වාමි පුරුෂයන්ව යුද්ධය නිසා අහිමිවූ අපේ ගම්වල කාන්තාවන් අදටත් කදුළු සලමින් පසුවනවා. මේ සමුළුවලදී කතා බහට ලක්විය යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අපේ ජනතාවට අහිමි කළ මානව හිමිකම් ගැනයි.

එල්.ටී.ටී.ඊ.ය කළේ අපේ සමාජය උතුම් යැයි නම් කළ කාන්තා ප්‍රතිරූපයන් හෑල්ලුවට ලක් කිරීමය. උතුම් යැයි සලකන ගැබිනි භාවය වාසියට හරවාගෙන මරාගෙන මැරෙන බෝම්බ බැඳගත් එල්.ටී.ටී.ඊ. කාන්තාවන් ජනාකීර්ණ ස්ථානවලට යවා මිනිසුන් ඝාතනය කළා.

මුස්ලිම් කාන්තාවන් ගේ වෙස්වලාගෙන ඔවුනගේ ආගමික ඇඳුම් පැළඳුම් වන ෆර්දාව උපයෝගී කරගෙන බෝම්බ රැගත් කාන්තාවන් බිහිසුණු මිනිස් ඝාතන කළා. රාජිව් ගාන්ධි මහතා ඝාතනය කළෙත් කාන්තාවක් යොදාගෙන කාන්තාවගේ ප්‍රතිරූපය විනාශ කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙසේ සිදුකළ අපරාධ ගැන ජිනීවා සමුළුව මෙම කාන්තා දිනයේදී අවධානය යොමුකළ යුතුයි.

* අපේ ගැහැනු දරුවන්ගේ, සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ මොනවාද ?

අපේ අමාත්‍යාංශය කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔවුන් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනවා. ගැහැනු දරුවා වෙනුවෙන් මෙහිදී වෙන්වුණු වැඩසටහන් සුවිශේෂී බවක් ගන්නවා.

අපගේ ප්‍රාථමික සමාජ තුළත්, ඉහළ දියුණු යැයි කියන සමාජ තුළත් කාන්තාවන්ට හා දරුවන්ට විවිධ කෙනෙහිලිකම් සිදුවන බව අප පිළිගත යුතුයි. මෙහිදී ‘ගැහැනු දරුවාට’ එය වැඩිවශයෙන් බලපෑමක් ඇති කරනවා.

භෞතික වශයෙන් අප ලබන දියුණුවට සමගාමීව අපගේ අධ්‍යාත්මය දියුණු වී නැහැ. එයයි මේ ගැටුමට මුල. දරුවකුගේ මුල්ම සමාජය නිවසයි. ඉන්පසු පාසලයි.

මේ ස්ථාන දෙකෙහිදීම දරුවාගේ යහපත සඳහා තීන්දු තීරණ ගන්නාවිට ඒවා ක්ෂණික නොවී දිගුකාලයක් දරුවාට බලපාන යහපත් තීරණ විය යුතුයි. විශේෂයෙන්ම මෙය ගැහැනු දරුවන් ට ආදේශ කරන විට අප වඩාත් සැලකිලිමත් විය යුතුයි.

මේ කරුණු සාර්ථක කරගන්නට අප නිවස, පාසල, පරිසරය, සමාජය ආදි සියලු අංශ ඒකරාශී වුණු වැඩපිළිවෙළකට සූදානම් වී සිටිනවා.

මේ අයිතිවාසිකම් දිනාගන්නට ගැහැනු දරුවන්ට කාන්තාවන්ට තනිවම බැහැ. ඒ සඳහා පුරුෂ පක්ෂයේද සහය අවශ්‍යයි. ඒ සඳහා අප විවිධ වැඩසටහන් අරඹමින් සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා