ආර්ථික හා සමාජයීය සංවර්ධනයට කාන්තා දායකත්වය ප්‍රසංශනීයයි

ආර්ථික හා සමාජයීය සංවර්ධනයට කාන්තා දායකත්වය ප්‍රසංශනීයයි

- ජනපති

ශ්‍රී ලාංකීය සමාජය තුළ විශිෂ්ට ස්ථානයක් හිමිකර ගෙන සිටින කාන්තාව රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කාන්තාවගේ ආරක්ෂාව සහතික කිරීම රටක ජන සමාජය විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව පෙන්වා දෙන ඒ මහතා, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවන 2012 ජාත්‍යන්තර කාන්තා දින උළෙල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් සතුටකි.

අද ඇය ඇඟලුම් ක්ෂේත්‍රය තුළින් ලබා දෙන්නේ අතිශයින් වැදගත්ම වූ දායකත්වයකි. එමෙන් ම නීති ක්ෂේත්‍රය තුළ ද මානව සම්පත් ක්ෂේත්‍රය තුළ ද ඇප කැපවීමෙන් විශාල මෙහෙවරකට ඇය දායකත්වය සපයයි. සාහිත්‍ය, වෛද්‍ය, ගුරු, හෙද ආදී සියලුම ක්ෂේත්‍රයන්හි ද කැපී පෙනෙන ස්්ථානයක් හිමි කර ගැනීමට ද කාන්තාව සමත්ව සිටී.

අප සමාජ බැම්මේ ශක්තිමත් පදනම පවුල ය. එහි මුලසුන නිතැතින් ම හිමිවන්නේ අපගේ කාන්තාවට ය. මවට හිමි ඒ ගෞරවයත් අභිමානයත් ආරක්ෂා කිරීම ජාතිය සතු වගකීමක් වන්නේ ය.

“ගැහැනු දරුවා සුරකිමු” යන තේමාව මෙවර ජාතික කාන්තා දින සැමරුම් උළෙලින් අර්ථ ගන්වයි. ගැහැනු දරුවා සුරැකීම සමස්ත සමාජයම සුරක්ෂිත කිරීමක් බව මම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් සියලුම දෙනා අවදියෙන් සිටිය යුතු බව සඳහන් කරනු කැමැත්තෙමි.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා