කාන්තා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් කැපවෙමු

කාන්තා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් කැපවෙමු

-අගමැති

කාන්තාවගේ ගෞරවය, ජීවීතාරක්ෂාව මෙන්ම මානසික සුවය සලසා දියහැකි දීර්ඝකාලීන ජාතික වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යම මොහොතකට එළැඹ ඇති බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.

රජයේ පාර්ශවයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන අතර, සමාජීය සමස්ත ජාතියම එම මෙහෙවර සඳහා අත්වැල් බැදගත යුතු බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් හෙතෙම එසේ ප්‍රකාශ කළේය.

එම නිවේදනයේ මෙසේද සඳහන් විය.

‘ගැහැණු දරුවන් සුරකිමු’ යන තේමාව මුල්කරගනිමින් මෙවර සමරන ජාත්‍යන්තර කාන්තා දිනයට මේ සුබ පැතුම් එක්කරන්නේ සමස්ත ශ්‍රී ලාංකීය දියණිවරුන් වෙත පීතෘ දයාවද පිරිනමමින් බව පවසන්නේ මහත් සොම්නසිනි.

සොබාදහමේ නියමයත්, ලෝකයේ පැවැත්මත්, ආදරයේ උණුසුමත් කැටිවු උත්තම ජීවිතයක හිමිකාරිය කාන්තාව මිස අන් කවරෙක්ද, ස්ත්‍රිය සම්බන්ධයෙන් වන ඒ සියලු යථාර්ථයන් එසේම පැවතියද, ඇයට හිමි ගෞරවය හා ආරක්ෂාව සැලසීම යන කාරණයේදී සමාජයක් ලෙස අප තවමත් පසුවන්නේ පසුගාමී චින්තනයක බව මගේ හැඟීමයි.

පුරා තිස් වසරක් සමස්ත ලාංකේය ජාතියම වෙලාගත් බිහිසුණු ත්‍රස්තවාදය තුළද වැඩිපුරම පීඩාවට පත්වුයේ මෙරට කාන්තා පරපුරයි. එදා ඈ විදි අප්‍රමාණ දුක්ඛ, දෝමනස්සයන් අවසන් වූයේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභීත නායකත්වය නිසා බව අප කිසිවිටෙකවත් අමතක කළ යුතු නොවේ.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කරමින්, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ කාරණයේදී ඉහළින් සිටි ජාතියක් වන අප වර්තමාන පාලන සමය තුළද වෘත්තිය නිපුණතාවය මත ඇයට හිමි ගෞරවය හා නිසි තැන ලබාදීමට කිසිවිටෙකත් පසුබට නොවූ බව පවසන්නේ එක්තරා අභිමානයක් ද පෙරදැරිවය. අගවිනිසුරු ධුරය, නීතිපති ධුරය මෙන්ම නීති කෙටුම්පත් ප්‍රධානී යන රටේ නෛතික අයිතීන් තහවුරු කරවන ප්‍රධාන තනතුරු සියල්ලම කාන්තාවන් විසින් හොබවන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව අපට ආඩම්බරයෙන් පැවසිය හැකිය. වෘත්තීමය මෙන්ම, දේශපාලන ක්ෂේත්‍රය තුළද මෙතරම් යහපත් අන්දමින් කාන්තාව සවිබල ගැන්වූ යුගයක් ඇතැයි මම නොසිතමි.

ඔබේ නිවසේ මිණි පහන රටේම ආලෝකය බවට පත්කර ගන්නට අපට හැකිවන්නේ එවිටය. ස්ත්‍රී දූෂණයෙන්, කාන්තා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් කැප වෙමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා