බාල බෙහෙත් කියා ඔප්පු කළොත් ඇමතිකමත් එපා

කාන්තා රෝහලේ මවකගේ මරණය:

බාල බෙහෙත් කියා ඔප්පු කළොත් ඇමතිකමත් එපා

ද සොයිසා කාන්තා රෝහලේදී මවක් මියයාමට හේතුව තත්ත්වයෙන් බාල ඖෂධ යැයි ඔප්පු කළහොත් තමා සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මවක් මියයාමට හේතුව වූයේ තත්ත්වයෙන් බාල ඖෂධ බව මේ සම්බන්ධයෙන් පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයකදී වෛද්‍යවරයකු ප්‍රකාශ කළා යැයි එම මරණ පරීක්ෂණය මෙහෙය වූ හදිසි මරණ පරීක්ෂකවරයා කළ ප්‍රකාශය පසුගිය සතියේ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණි.

එහෙත් එම ප්‍රකාශය පිළිගත නොහැකි බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්ව මාස 18ක් පමණ ගත වී ඇති බවත් මේ කාලය තුළ කිසිම දිනක තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවත් ඇමැතිවරයා කීය.

අනුරාධපුරය රනෝරාව ග්‍රාමීය රෝහල විවෘත කළ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (07) මේ බව පැවැසුවේය. යම්කිසි ඖෂධයක් තත්ත්වයෙන් බාල බවට පරීක්ෂණයකින් තොරව ඔප්පු කළ නොහැකි යැයි ද රසායනාගාර පරීක්ෂණයකින් මිස ඖෂධයේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කළ නොහැකි යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඖෂධයක් මතුපිටින් බලා තත්ත්වයෙන් බාල බව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමාටවත්, සෞඛ්‍ය ලේකම්වරයාටවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටවත් ප්‍රකාශ කළ නොහැකි යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායම් දෙකක් පත් කිරීමට තමා කටයුතු කළ බවත් එහි මූලික වාර්තා අනුව ඒ මවට ලබාදුන් ඖෂධ නිසි ප්‍රමිතියෙන් යුක්ත වන බව සඳහන් බවත් ඇමැතිවරයා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා