ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා අද තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන්

සී.බී. කුසලානයට අවසන් සටන

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා අද තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන්

සී.බී. කුසලාන තුන්කොන් තරගාවලියේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තු සමඟ අද ඇඩිලේඩ් පිටියට පිවිසෙයි.

ටී. එම්. ඩිල්ෂාන් තරග 10 කදී ලකුණු 505 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණේ සිටින අතර උඩ පන්දු 6ක් රැකගෙන හොඳම පන්දු රකින්නා ලෙස ඉදිරියෙන් සිටී.

පහර පිට පහර එල්ල වෙද්දී වූවද අවසන් පන්දුව තෙක් උත්සහය අත්නොහරින ‘යෝකර් මාලිංග‘ තරග 10 කදී කඩුලු 18 ක් ලබා පන්දු යවන්නන් අතර වැඩිම කඩුලුලාභියා වෙමින් ඔස්ට්‍රේලියාවට තර්ජනයක් ගෙන එනු ඇත.

ඔස්ට්‍රේලියාවේ වෝනර් පිතිකරුවන් අතර දෙවැනි තැන තරග 10 කදී ලකුණු 458 ක් ලබා අත්කරගෙන ඇත.

ඩිල්ෂාන් - වෝනර් දෙදෙනාම ශතක 2ක් හා අර්ධ ශතකය බැගින් ලබා සිටීමෙන් අද තරගයේ එකිනෙකා පරයා ඉදිරියට ඒම දැකගත හැකිවේ.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්ටීන් කඩුලු 13 ක් මේ වනවිට ලබා ඇතත් අද තරගයේ මාලිංග පරාජය කිරීමට නම් විශාල හාස්කමක් කළ යුතුව ඇත.

පන්දු රැකීමේදී ඩේවිඩ් හසී උඩ පන්දු 5 ක් රැකගෙන සිටී.

ඉතිහාසයේ සිටම ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග, උණුසුම් මුහුණුවරකින් නිමාවන හෙයින් අද තරගයද පේ‍්‍රක්ෂක ආශ්වාදය නොමදව ලබන උද්වේගකර සටනක් වනු ඇත.

අද පැවැත්වෙන අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල උපරිම දක්ෂතා අතරට පත්වන බව නායක මහේල ජයවර්ධන සඳහන් කළේය.

මේ තරගාවලියේදී ලෙහෙසියෙන් තරග දිනන්න අපට අවස්ථාව උදාවුණේ නෑ.

ඔස්ට්‍රේලියාවට පැමිණි දවසේ සිට ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. එහි ප්‍රතිඵල අවසන් තරගයේදී පෙන්වනවා” ජයවර්ධන පැවැසීය.

දෙවැනි අවසන් තරගයේදී නිපන්දුවක් ගැන විනිසුරු දුන් තීරණයකට එරෙහිව මත ප්‍රකාශ කිරීමේ වරදට තරග ගාස්තුවෙන් සියයට දහයක මුදලක් කපා දැමීම තමාට ප්‍රශ්නයක් නොවන බව මහේල පැවැසීය.

“නිපන්දු හා තරග ගාස්තු කැපීම මා ගණන් ගන්නේ නෑ. නමුත් නිපන්දුව සංඥා කළේ මයිකල් ක්ලාක් දැනුම්දුන් පසුවයි.

ඒක ප්‍රශ්න කිරීම මගේ වගකීමක්” ජයවර්ධන වැඩිදුරටත් පැවැසීය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ඊයේ මාධ්‍ය වෙත පැවැසුවේ ඇඩිලේඩ් “බැටින් විකට් එකේ” නියමිත ආකාරයට තම පන්දු යවන්නන් කාර්ය ඉටු නොකළ බවය.

“අපේ පන්දු යවන්නන් හොඳීන් පන්දු යැව්වේ නැති නිසා ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු අතරට ආවා. ඇඩිලේඩ් තණතිල්ලේ අඩුම තරමින් ලකුණු 300 ක් ලබා ගත යුතුයි” ක්ලාක් පැවැසීය.

ශ්‍රී ලංකා පිලට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ සේවය නොලැබෙන අතර ෆර්විස් මහරූෆ් හා ඇන්ජලෝ මැතිව්ස් ද සුළු ආබාධවලට ලක්වී සිටී. මැතිව්ස් ක්‍රීඩා නොකළහොත් චාමර කපුගෙදර අද තරගයට එක් වේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඉතා හොඳ විශ්වාසයක් ඇති කරගෙන සිටීම දැන් ඇති ප්‍රධානතම වාසියකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා