මුද්‍රණය සඳහා

 
සිරියානු ජනතාවට ආධාර ලබා දෙන්න රතු කුරුසයට අවසර ඉල්ලා සාකච්ඡා

සිරියානු ජනතාවට ආධාර ලබා දෙන්න රතු කුරුසයට අවසර ඉල්ලා සාකච්ඡා

රාජ්‍ය විරෝධී සටන් උත්සන්න වීමත් සමඟ දරුණු ලෙස පීඩාවට පත් සිරියානු ජනතාවට මානුෂික ආධාර ලබාදීමට ඉඩකඩ විවෘත කර දීමේ අදහසින් ජගත් සංවිධාන මානුෂික කටයුතු පිළිබඳ ප්‍රධානී ඊයේ සිරියාවට යෑමට නියමිත විය. ඇයගේ මූලික කාර්යභාරය වී ඇත්තේ මානුෂික ආධාර සැපයීමට රතු කුරුස සංවිධානය ප්‍රමුඛ පිරිසට අවසර ලබාදෙන ලෙස සිරියානු රජයට බල කිරීමයි.

මේ අවස්ථාවේදී සිරියානු රජයට එරෙහිව යුදමය ක්‍රියාදාමයකට ප්‍රවේශවීම නුවණට හුරු නොවන බව ජනාධිපති ඔබාමා අවධාරණය කර තිබේ.

මේ අතර සිරියාවේ මිනිස් සංහාරය නතර කරන ලෙස බල කිරීමට ප්‍රධාන පෙළේ ජගත් සංවිධාන බලවතුන් පස්දෙනෙක් විසින් අඟහරුවාදා සාකච්ඡා පවත්වා තිබේ. ඒ වන විටත් රජයේ හමුදා කැරලිකරුවන්ගේ මර්මස්ථානවලට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටි බව වාර්තා වේ.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිරියාවට එල්ල වන පීඩනය දිනෙන් දිනම දැඩි කර තිබියදීත් සිරියානු ජනාධිපති බෂා අල්අසාද් මිනිස් සංහාරය අත්හිටුවීමට තවමත් එකඟවී නැත. මේ දක්වා රාජ්‍ය විරෝධි ගැටුම්වලින් සිරියාවේ මිය ගොස් ඇති සංඛ්‍යාව 7500කට අධික බව ජගත් සංවිධානය පවසයි.

ජගත් සංවිධාන - අරාබි විශේෂ නියෝජිත කොෆී අන්නන් සහ ජගත් මානව කටයුතු ප්‍රධානී වැලරි ආමොස් ගේ දූත මෙහෙවර මේ සතියේ අවසන් වන තෙක් සිරියාවේ තත්ත්වය පිළිබඳව කිසිදු වෙනසක් සිදුනොවනු ඇතැයි රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ විශ්වාසයයි .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]