ගුල්ලන්ට දඬුවම් දෙනු!

ගුල්ලන්ට දඬුවම් දෙනු!

විශාල වී අස්වැන්නක් ලැබීමත් ප්‍රශ්නයක් ද? මීට වසර කිහිපයකට ඉහත දී ආසියාව පුරා සහල් හිඟයක් පැතිර ගියේ ය. ශ්‍රී ලංකාවට ද එය තදින් බලපෑවේය. පිලිපීනයේ වී ගබඩාවල ආරක්ෂාවට දැඩි පොලිස් රැකවල් දමා තිබිණි. ඉන්දියාව මෙන් ම වියට්නාමය ද සහල් අපනයනය නතර කළේ ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එදා උපදේශය වූයේ ඉතා කෙටි කාලයක් තුළ රට සහලින් ස්වයංපෝෂිත කළ යුතු බවය. එය අද වන විට සාර්ථක වී තිබේ. දැන් සහල් මිල සහනදායී තත්ත්වයක පවතී. සහල් හිඟයක් ද දකින්නට නැත.

දැන් උදා වී ඇත්තේ අස්වැන්න අලෙවි කිරීම පිළිබඳ ප්‍රශ්නයෙකි. ඒ ආශ්‍රයෙහි ම තවත් ගැටලු කිහිපයක් ද පවතී. වී ගබඩා කිරීම එක ප්‍රශ්නයකි. ඒවා සුරක්ෂිත ලෙස තබාගැනීම තවත් ප්‍රශ්නයකි. ගොවියාගෙන් වී මිලට ගනු වෙනුවට මුදලාලිගෙන් වී මිලට ගැනීම තවත් ප්‍රශ්නයකි. මුදලාලිගෙන් වැඩි මිලට වී ගනු ලබනුයේ නිලධාරීන් ය. මෙබඳු ගැටලු රැසක් අප ඉදිරියෙහි පවතී.

මේ ගැටලුවලට කෙළින් ම මුහුණ දිය යුත්තේ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ය. ඔහු අමාත්‍යාංශයේ ශීත කාමරයක සිට ප්‍රශ්නවලට පිළිතුරු සපයන කෙනකු නො වේ. ජොන්ස්ටන් ඇමැතිවරයා සිය වාහනයත් පදවාගෙන අම්පාර, කදුරුවෙල, මනම්පිටිය, දිඹුලාගල, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශවල සංචාරයක නිරත විය. ඇමැතිවරයා සමඟ නිලධාරීහු කිහිප දෙනෙක් හා මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද උන් හ. එය හරි අපූරු සංචාරයක් වූයේ ගොවි ජනතාව හමුවීම නිසා ය.

මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට රුපියල් කෝටි හාරසිය පනහක් වටිනා වී අපේ ගබඩාවල තැන්පත් කර තිබේ. ඒ කන්න දෙකකින් ලබාගත් අස්වැන්න ලෙස ද සඳහන් වේ. ගබඩාවල ඇති වී තොගවලින් වී ටොන් ලක්ෂයක් පමණ ගුල්ලන් ගසා ඇතැ’යි ද කතාවක් පවතී. ඇතැම් ගබඩා සුරක්ෂිත නැත. එහෙත් ගබඩා පහසුකම්වල ඇති හිඟතාව මත අබලන් ගබඩා ද ප්‍රයෝජනයට ගැනීමට සිදුව තිබේ. වී අලෙවි මණ්ඩලය අහෝසි කිරීමට මෙන් ම වී ගබඩා විනාශවීමට ද වගකිව යුත්තේ පැවැති එ. ජා. ප. ආණ්ඩුවයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ එම ගබඩා ඇඟලුම් කම්හල් ඉදිකිරීම සඳහා ලබා දුන්නේ ය.

කුමන තත්ත්වයක් යටතේ වුව වී අස්වැන්නට අදාළ ප්‍රධාන ගැටලු කිහිපයක් පවතී. එක ප්‍රශ්නය ගොවියාගේ අස්වැන්න අලෙවි කිරීම ය. දෙක ගබඩාවල ඇති වී තොග නරක්වීමට ඉඩ හැරීම ය. තුන මුදලාලිලාගේ සූරාකෑම ය. හතර සහල් මිල ප්‍රමාණාත්මක ලෙස පහළ නො යෑම ය. දැනට පවතින ඉහළ අස්වැන්නට අනුව සහල් අපනයනය ඉතා හොඳ විසැඳුමක් බව බොහෝ දෙනා කියති. ඇමැති ජොන්ස්ටන් ඒ යුතුකම ඉටුකර තිබේ. රටවල් කිහිපයක් සමඟ කළ සාකච්ඡාවලින් පසු වී ටොන් ලක්ෂයක් අපනයනය කිරීමේ අවස්ථාව උදා වී ඇත.

ආණ්ඩුවේ මෙවර අපේක්ෂාව වූයේ වී මෙ. ටො. 1,60,000ක් මිලට ගැනීම ය. එහෙත් මෙවර ඉහළ අස්වැන්නට අනුව වී මෙ. ටො. ලක්ෂ තුනක් මිලට ගැනීමට ආණ්ඩුවට සිදු ව තිබේ. අමැතිවරයා ඊට සූදානම් අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කොට තිබේ. ඇතැම් රාජ්‍ය නිලධාරීන් ගොවියාගෙන් වී මිලට ගනු වෙනුවට මුදලාලිගෙන් වී මිලට ගැනීමට පුරුදු වී ඇති බව දැකගන්නට ලැබිණි. අමාත්‍යවරයා ගොවීන් සමඟ සාකච්ඡා කොට එම තත්ත්වය වටහාගෙන තිබේ. මේ තත්ත්වය වහා නැවැත්විය යුතුය. මුදලාලිගෙන් වී මිලට ගනු ලබන නිලධාරීන්ට උපරිම දඬුවම් ලබා දෙන බව ජොන්ස්ටන් මහතා කිය යි.

වී අපට ප්‍රශ්නයක් වන්නේ අස්වැන්න නෙළාගන්නා කාලයට ය. දැන් වෙනදාට වඩා ඉහළ අස්වැන්නක් ලැබේ. ඊට හේතු කිහිපයක් බලපායි. පොහොර සහනාධාරය එක් හේතුවකි.යුද්ධය අවසන් වී සාමය පැතිර ඇති බැවින් ද නැවත පදිංචිකිරීම් සාර්ථක බැවින් ද කිලිනොච්චිය, මුලතිව් හා නැඟෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවකින් ද සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබේ. එය සමස්ත නිෂ්පාදනයට අලුතින් එක් වූ කොටසකි. ඒ අස්වැන්න වැඩිවීමට බලපෑ තවත් හේතුවකි. හොඳ තත්ත්වයේ බීජ, කාලගුණය යහපත්වීම හා තවත් හේතු ද මේ සාර්ථකත්වයට බලපා තිබේ.

හාල් මිල ගැන කතා කරන අය වී අස්වැන්න ගැන කතා නො කරති. පොහාර සහනාධාරය, වී මිලට ගැනීම, මිල ඉහළ නැංවීම,, අලුත් ගබඩා ඉදිකිරීම, මුදලාලි ග්‍රහණයෙන් ගොවියා බේරාගැනීම, වාරිමාර්ග පහසුකම් සපයාදීම වැනි සාධනීය ලක්ෂණ ගැන කිසිවෙක් කතා නො කරති. තවත් විශේෂයක් වන්නේ වී – කුඹුරු ගොඩකොට ඒ මත සංචාරක හෝටල් ඉදිකරමු යැයි යෝජනා කළ රනිල් වික්‍රමසිංහ මහතා ද වී ගැටලුවට අත ගසා තිබීම ය. එහෙත් ඔහු දන්නා වී වගාවක් නැත.

වික්‍රමසිංහ මහතා වී ගොවියන් මුණ ගැසීමට ගොස් පුංචි පහේ නාඩගමක් නටා ආපසු පැමිණ සිටී. ඔහුට අවශ්‍ය ගොවි ගැටලු විසඳන්නට නො ව කෙසේ හෝ ගොවියා පාරට බැස්සවීමට ය. එහෙත් මේ රටේ සැබෑ ගොවියා වික්‍රමසිංහ මහතාට මුළාවේ යැයි සිතිය නො හැකි ය. ඒ කෙසේ ද යත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පටන් මේ දක්වා ම එ. ජා. ප. නායකයන් ක්‍රියාකර ඇත්තේ වී වගාවේ ප්‍රවර්ධනය සඳහා නො ව එහි අවවර්ධනය සඳහා ය. ඒ බව ජනතාව හොඳින් වටහා ගත යුතු ය.

අස්වැන්න නෙළන කාලයට වී වගාවේ පුංචි - පුංචි ප්‍රශ්න ඇති වේ. ඒවා තාවකාලික ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා