උදා වූ සාමයේ සංවර්ධන ප්‍රතිලාභ

උදා වූ සාමයේ සංවර්ධන ප්‍රතිලාභ

මිනිස් ජීවිතයට ඉතා සමීපව දැනෙන වඩා සංවේදී ප්‍රශ්න කිහිපයක් ම රට තුළ පැන නැඟී ඇත. අද දවසේ සංවේදීම ප්‍රශ්න ලෙස ඉන්ධන මිල ඉහළ යාම සහ බස් ගාස්තු වැඩිවීම හඳුනාගත හැකිය. මේ කරුණ මූලික කර ගනිමින් විපක්‍ෂයේ පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමටත්, පාරට බසිමින් ජනතාවාදී වීමටත් පටන්ගෙන තිබේ. ප්‍රශ්නය හැබෑය. බඩු මිලත් වැඩිවේද? ජනතාව තුළ තවත් ප්‍රශ්නයක් පැන නඟිමින් පවතී.

බහු ආගමික, බහු සංස්කෘතික, බහු ජාතිකත්ව සමාජයක් වූ ශ්‍රී ලංකාව පසුගිය දශක 03 ක පමණ කාලයක් අඛණ්ඩ යුද්ධයකට මැදි වී තිබුණි. මේ නිසා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබුණි. ඇතැම් රක්ෂණ සමාගම් ත්‍රස්තවාදී උවදුරු රක්ෂණය, හදිසි අනතුරු රක්ෂණය හා බෝම්බ හානි රක්ෂණ පවා ලබාදීම අත්හිටුවා තිබුණි. ජනතාවගේ ජීවිතවල වටිනාකම නොසලකා හරින වටපිටාවක් බිහිවිය. මානව හිමිකම් හා අයිතිවාසිකම්, මානව අගනාකම් හා සාරධර්ම පිරිහී තිබුණි. ජාතිවාදයන් අවුළුවාලීමට දෙස්, විදෙස් බලවේග කටයුතු කරන ලදී. මේ සියලු අගතිගාමී මෙහෙයුම් තුරන් කර සියලු ජනයාගේ මානව හිමිකම්, අයිතීන් ආරක්‍ෂා කිරීමට හැකි වටපිටාවක් වර්තමානයේ නිර්මාණය වී ඇත.

ජනතා සිතුම් පැතුම් ඉටුකර ගත හැකි ආර්ථික ශක්තියක් ලබා දීමට වත්මන් රජය අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීම වටියි. ග්‍රාමීය ජන ජීවිතය නඟාසිටුවීම අරමුණ කර ගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක එකතුවකින් ගම නැඟුම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ සඳහා 2009 වර්ෂයේ වෙන් කළ මුදල රු. මිලියන 9000 ක් ද, 2010 වර්ෂය සඳහා රු. මිලියන 9000 ක් ද, 2011 වර්ෂය සඳහා රු. මිලියන 12,000 ක් ද වේ. 2012 වර්ෂය සඳහා රුපියල් මිලියන 14,000 ක මුදලක් වැය කිරීමට නියමිතය.

මේ අතර දිවි නැඟුම ව්‍යාපෘතිය මගින් ලංකාවේ සෑම ගමක්ම ආවරණය කරමින් ගම්මාන 14,000 කින් එක් ගමකින් පවුල් සියයක් තෝරාගෙන ඇත. එම පවුල් ඒකක සියය ආර්ථික හා සමාජ දියුණුවක් ඇතිකිරීමේ අරමුණින් දිවි නැඟුම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ සඳහා 2011 වසරේදී රු. බිලියන 4.4 ක් වැය කළ අතර 2012 වසර සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 6.5 කි. වසරකට පවුල් 14,00000 ක් නඟාසිටුවීමට සැලසුම් කර තිබේ. එමඟින් තම පවුල තුළම අවශ්‍ය ආහාර, කිරි, එළවළු හා පලතුරු අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකියාව ලැබේ. එය ආර්ථිකය සවිමත් කිරීම මෙන්ම පවුලේ පෝෂණයට ද හේතු වේ. ග්‍රාමීය හා නාගරික දිළිඳු පවුල් ආර්ථික අතින් සවිබල ගැන්වීම ඒ මගින් අපේක්‍ෂා කරන අතර දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ ද රජයේ අවධානය යොමුව ඇත.

වසර 30 ක යුද්ධය නිමවීමත් සමඟ වර්තමාන රජය කෙටි කාලීන හා දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මාර්ග පද්ධතිය නවීකරණයට සැළසුම් කර තිබේ. ඒ මඟින් අධිවේගී මාර්ග, ගුවන් මාර්ග, පුළුල් මං තීරු සහිත මාර්ග, නගර වට රවුම් මාර්ග ඉදිකිරීම ආරම්භ කර ඇත. සාමාන්‍ය මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා 2011 වසරේදී රුපියල් බිලියන 97.4 ක් ආයෝජනය කළ අතර 2012 වසරේදී ඒ සඳහා ආයෝජනය කිරීමට අපේක්‍ෂිත මුදල රුපිල් බිලියන 128 කි.

කොට්ටාව - ගාල්ල අධිවේගී මාර්ගය මේ වන විට ජනතා අයිතියට පත් කර තිබේ. ඒ සඳහා අධිවේගී මාර්ගය කි. මී. 96 ක් නිමවා ඇත. කොළඹ – නුවර අධිවේගී මාර්ගය ද කිලෝමීටර් 98.9 කින් ද නිර්මාණය කිරීමේ මූලික වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

මේ වන විට නැඟෙනහිර පළාතේ මහා පරිමාණ පාලම් ව්‍යාපෘති සියල්ල නිමවා ඇත. දියවර ගම්මාන ආශ්‍රිත මාර්ග සංවර්ධන වැඩසටහන් යටතේ ද ග්‍රාමීය මාර්ග සංවර්ධන වෙමින් පවතියි. මේසා විශාල සංවර්ධනයන් මගින් නගරයත්, ගමත් යාකරමින් අවශ්‍ය දේශපාලනික, සමාජීය, සංස්කෘතික, ජාතිකත්ව සමඟිය සහිත පසුබිම සකස් කර ගැනීම ද රටක් ලෙස අප ලැබූ ප්‍රධාන ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව “මිනී කන්නන්ගේ දේශයක්”, “ජීවිත අවදානම් සහිත රටක්”, “වගකීමක් නොගන්නා රටක්”, “මානව හිමිකම් අහිමි රටක් “ ලෙස දීර්ඝ කාලයක් පුරා ලොව පැතිර පැවති කළු චිත්‍රය මකා අප මාතෘ භූමිය කෙරෙහි විශ්වාසයක්, අභිමානයක් ඇතිකිරීමට හැකි වූයේ පසුගිය වසර කිහිපය තුළ ලැබූ දේශපාලනික හා යුදමය ජයග්‍රහණයන් නිසාවෙනි. නමුත් ඉතිරිව ඇති අඳුරු සෙවනැලි කිහිපයක් ජාත්‍යන්තර මට්ටමින් තවමත් හොල්මන් කරමින් සිටියි. එහි එක් කණ්ඩායමකි විදෙස්ගත කොටි ජාලය. අනික් පාර්ශ්වය අප රටෙහි ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය නැති කිරීමේ අරමුණින් කටයුතු කරන බටහිර බලවේගයන්ය. මොවුන්ගේ දුෂ්ට කුමන්ත්‍රණ හමුවේ විදෙස් බලවේග විසින් පරාජය කළ නොහැකි යැයි හඳුන්වා දී සිටි කොටි ත්‍රස්තවාදීන් පරාජය කර මව්බිම නිදහස් කර ගැනීමට අප සැමට හැකි විය.

ඒ මඟින් අද වන විට සංචාරක කර්මාන්තය වේගවත් ගමනක් අරඹා ඇත. ඒ අනුව 2009 වසර සඳහා සංචාරකයින් 4,47,890 ක් ද, 2010 වසර සංචාරකයින් 6,54,476 ක් ද, 2011 වසර සඳහා සංචාරකයින් 8,55,975 ක් ද පැමිණ ඇත.

ඊට අමතරව අනෙකුත් සියලු සමාජීය අවශ්‍යතාවයන් සඳහා ද රජයේ අවධානය අන් කවර කලකටත් වඩා යොමුව ඇත. විදුලිබල සැපයුම මේ වන විට 92% ක් ද, ඉක්මවා ඇත. ඉදිරි විදුලි සැපයුම 2013 වර්ෂය අවසානයට පෙර ලබාදීම විදුලිබල අමාත්‍යාංශයේ අරමුණයි. ඒ සඳහා දැනට ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, ලක්විජය හා යුගදනවි වැනි මහා පරිමාණ ජල විදුලි බලාගාර සක්‍රීය කර ඇත. යුද්ධය හේතුවෙන් හිසට සෙවණක් අහිමි ජනතාවක් රටපුරා විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් විය. ඔවුන්ට අවශ්‍ය නිවාස ඉදිකිරීමට රජය කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කර ඇත.

යුද්ධය නිමවීමෙන් පසු දීර්ඝ කාලයක් සරණාගත කඳවුරුවල නොතබා දමිළ ජනතාව නැවත සිය ගම්බිම් කරා ගොස් පදිංචි විය. උතුරු හා නැඟෙනහිර පළාතේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් කඩිනමින් ලබාදීම රජයේ අභියෝගයයි. ඒ සඳහා රජය නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. එක් ව්‍යාපෘතියක් උතුරට ද, අනෙක් ව්‍යාපෘතිය මුළු රටම ආවරණය වන පරිදි ද ක්‍රියාත්මකය.

”අපි වවමු - රට නඟමු” ජාතික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ මගින් ස්වයංපෝෂිත ජාතියක් බිහිකිරීමේ කටයුතු අරඹා ඇත. මෙතෙක් කාලයක් වගා කළ නොහැකිව පැවති විශාල භූමි භාගයක් මේ වන විට වගාවන් සඳහා භාවිතා කරයි. ඒ උතුරු හා නැඟෙනහිර පළාත්හි භූමියයි. ඒ මගින් සරු ඵලදාවක් රටට ලැබෙන අතර විශාල ආර්ථික ප්‍රතිලාභයක් උතුරේ හා නැඟෙනහිර ජනතාවට ලැබේ.

වී ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා රජය වාර්ෂිකව වෙන්කරනු ලබන පොහොර සහනාධාරය අති විශාලය. පොහොර සහනාධාරය සඳහා 2008 වර්ෂයේ රුපියල් බිලියන 26.4 ක් ද, 2009 වර්ෂය සඳහා රුපියල් බිලියන 26.9 ක් ද, 2010 වර්ෂය සඳහා රුපියල් බිලියන 26 ක් ද, 2011 වර්ෂය සඳහා රුපියල් බිලියන 29.8 ක් ද, ගොවි ජනතාව වෙත ලබා දී ඇත. 2012 වර්ෂය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 33.8 කි.

මේ සෑම මුදලක්ම වැය කර ඇත්තේ රටේ සරු අස්වැන්නක් ලබාගැනීමේ අරමුණිනි. ඒ මගින් ගොවි ජනතාව නඟාසිටුවීමට පියවර ගෙන ඇත.

ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය ඇතුළු බොහෝ සේවාවන් ලබා දෙනුයේ මුදල් ලබා ගැනීමෙනි. නැතිනම් ඒවා ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යයි. නමුත් විවිධ ආර්ථික දුෂ්කරතාවයන් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් ජනතා සුබසාධනයන් කප්පාදු නොකරමින් ජනතා හිතවාදීව එම සහනයන් සමස්ත ජනතාවට ලබාදීම අඛණ්ඩව සිදු කරමින් සිටීම පහසු කර්යයක් නොවෙයි.

45 ලක්‍ෂයක් පමණ වූ ශිෂ්‍ය ප්‍රජාවක් සඳහා අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නොමිලයේ ඇඳුම්, පොත්පත්, අධ්‍යාපනය, ශිෂ්‍යත්ව හා මහපොළ ආධාර ලබා දෙයි.

2008 වර්ෂය සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 100.1 කි. එමෙන්ම 2009 වර්ෂය සඳහා රුපියල් බිලියන 100.5 ක් ද, 2010 වර්ෂය සඳහා රුපියල් බිලියන 104.2 ක් ද, 2011 වර්ෂය සඳහා රුපියල් බිලියන 120 ක් ද, වෙන්කර තිබුණි. 2012 වර්ෂය සඳහා එම මුදල රුපියල් බිලියන 132 කි.

කලාකරුවන්ට, කලාකාමීන්ට ලබාදීමට රජය මැදිහත් වී කටයුතු කරයි. රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හා නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ඉන් ප්‍රමුඛය.

මේ අතර සන්නිවේදනය ප්‍රබල තාක්ෂණික මාධ්‍යයක් බවට පත් වී තිබේ. සෘජු හා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2000 වර්ෂයේදී පුද්ගලයින් 100 කට දුරකථන භාවිතය 6.3 කි. එය 2011 වන විට 100 දෙනෙකුට දුරකථන භාවිතය 105.3 කි. 2011 වසර අවසාන වන විට ජංගම දුරකථන භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ වන විට ජංගම දුරකථන මිලියන 18 ක් භාවිතයේ පවතී. එමෙන්ම සමස්ත දුරකථන භාවිතය මිලියන 22 ඉක්මවා ඇත. මේ මගින් ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාව වේගවත් හා පහසු කර ඇත.

තොරතුරු ගලා යෑම හා විවිධ කටයුතු පහසු කර ඇත. උතුරු පළාතට හා නැඟෙනහිර පළාතේ කොටසක් ආවරණය වන පරිදි කොකාවිල් සන්නිවේදන කුලුන ඉදිකර ජනතා අයිතියට පත්කරන ලදී. ඒ මගින් දමිළ ජනතාව ඇතුළු සියලු ජනතාවට දුරකථන පහසුකම්, රූපවාහිනී හා ගුවන් විදුලි පහසුකම්, අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ පහසු ක්‍රම හිමිවිය.

දුගී දුප්පත්භාවය 1995/1996 වර්ෂවල 28.8% ක්ව තිබුණු අතර 2002 වර්ෂයේ එම අගය 22.7% දක්වා අඩුවිය. 2006/2007 වර්ෂය සඳහා එම අගය 15.2% ක් වූ අතර 2009/2010 වර්ෂයන් වන විට 8.9% දක්වා පහළ බැස ඇත.

විරැකියා මට්ටම පහළ බැස ඇති අයුරු එසේමය. ඒ අනුව 2007 වර්ෂයේ විරැකියා අගය 6.0 කි. එය 2008 වර්ෂයේදී 5.4 කි. 2009 වර්ෂයේදී එය 5.8 දක්වා ද, 2010 වර්ෂයේදී එය 4.9 දක්වා ද, 2011 වර්ෂයේදී එය 4.3 දක්වා ද පහළ බැස ඇත.

මීට සමගාමීව ඒක පුද්ගල ආදායම ඉතා ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. එය 2007 වර්ෂයේදී ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 1617 කි. 2008 වර්ෂයේදී ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 2014 දක්වා වර්ධනය විය. 2009 වර්ෂයේදී එය අමෙරිකන් ඩොලර් 2057 ක් ද, 2010 වර්ෂයේ දී එය ඇමෙරිකන් ඩොලර් 2399 ක් ද, 2011 වර්ෂයේදී එය අමෙරිකන් ඩොලර් 2830 ක් ද දක්වා අඛණ්ඩව වර්ධනය විය.

මෙම තොරතුරු අනුව සෑම පවුල් ඒකකයකටම අවම වශයෙන් යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් සිය ප්‍රවාහන කටයුතු සඳහා ඇත. ඒක පුද්ගල ආදායම ඉහළ යාමත්, සෙසු පාරිභෝගික අවශ්‍යතා අඩු මිලට හා නොමිලයේ ලැබීමත් හේතුවෙන් පවුල් ඒකක තුළ මූල්‍යමය වර්ධනයක් ඇතිවෙමින් පවතී.

ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රට තුළ දැනට ක්‍රියාත්මක බැංකු පද්ධතියයි. 2000 වර්ෂයේදී 1411 ක් වූ බැංකු ශාඛා සංඛ්‍යාව 2011 වර්ෂයේදී 6094 දක්වා වැඩි වී තිබේ. වාණිජ බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු කරන පුද්ගල සම්බන්ධතා වර්ධනය වී ඇති අතර, ඒ මගින් පුද්ගල මුදල් සංසරණ ප්‍රමාණය ද ගනුදෙනු ප්‍රමාණය ද සාධනීය වර්ධනයක් පෙන්නුම් කරයි. රජයේ සමස්ත ආර්ථික සැලසුම් තුළින් වක්‍රව මෙන්ම සෘජුව මූල්‍ය ප්‍රතිලාභ ජනතාවට ලැබීම මෙයට ප්‍රධාන හේතුවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා