මඩොල්දූවේ අසිරිය මනඞකල්පිතයක් ද?

මඩොල්දූවේ අසිරිය මනඞකල්පිතයක් ද?

මඩොල් දූව පමණක් නොව මාර්ටින් වික්‍රමසිංහ ලියූ අනෙකුත් ග්‍රන්ථද නවකතා බව අපට එක් නූතන විචාරකයකු කියා දී තිබේ. විවිධ ලේඛකයන් ලියා ඇති පොත් නවකතාද නැතිනම් වෙනත් කෘතිදැයි නිගමනයකට ඒමට ඒ හැටි දැනුමක් අපට නැත. ඒ නිසා නූතන විචාරකයාගේ මතයට ගරු කරමින් මඩොල්දූව නවකතාව අපි යළිත් වතාවක් ඊයේ පෙරේදා කියැවීමු. ඒ මඩොල්දූව නම් වූ නවකතාව ගැන බාල විචාරයක් ලියන්නට නොවේ. අපේ එකම අරමුණ මඩොල්දූව නම් වූ දූපත ගැන යමක් සටහන් කිරීමයි. අපි මුලින්ම මඩොල් දූවට ගියේ 1956 අවුරුද්දේ පාසලේ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට සූදානම් වූ ශිෂ්‍යයකු වශයෙනි. එදා අප ඒ ගමනට කැඳවා ගෙන ගියේ උපාලි ගිනිවැල්ලේ සහ ජිනපාල හෙවත් ජින්නා විසිනි. ඒ දෙදෙනා ඔරුවක නැඟී ශාරීරිකව මඩොල්දූවට යද්දී මේ ලියන අපි සිතින් මඩොල්දූවට ගියෙමු.

අධිවේගී මාර්ගයෙන් ගොස් ගාල්ල පින්නදූවෙන් පිට වී කොග්ගල හරහා මාතරට යන හැම දවසකම හත්අටපොළක ප්‍රදර්ශනය කර ඇති බෝඩ් හෙවත් දැන්වීම් අපි දකින්නෙමු. ඒවායේ සටහන් වන කළුපාට අකුරු ලස්සන නැත. එහෙත් කනෙකුට වුව පේන පොල්ගෙඩි අකුරින් සටහන් වන "මඩොල් දූවට යන පාර" යන වචන දෙක තුනය.

පී.ලියනගේ
කොග්ගල බීච් හෝටලයේ
කළමනාකරු

එම දැන්වීම අනුව මඩොල් දූවට නොමිලයේ යන්නට බැරි ය. ගාස්තුවක් ගෙවිය යුතුය. ගාස්තුව බෝට්ටුවටය. අතින් ගණනක් වැය කළ යුතු නිසාදෝ පාරේ යන කවුරුත් මඩොල්දූවට ගොඩ වන්නේ නැත. එහෙත් අපට දැන ගන්නට ලැබුණ තොරතුරු අනුව පාසල් දරුවන් කණ්ඩායම් වශයෙන් මඩොල් දූවට සහ අනෙකුත් දූවන්වලට ගොඩ වෙති.

මඩොල් දූව සවාරියේ මඟ පෙන්වන්නා ඩී.එච් සෝමසිරි

අපේ මඩොල්දූව ගමන සංවිධාන කළේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් රුවන් කෝට්ටගේ සහෘදයා ය. ඔහුගෙන් මටත් , මා සමඟ ගිය රියැදුරු නෙවිල්ටත්, උපදෙස් ලැබුණේ කොග්ගල බීච් හෝටලයේදී හමුවීමටය. කොග්ගල බීච් හෝටලයට ඇතුළු වීමට මෙහා කොනේ හෝටලයේ සිට මාතර පාරේ කිලෝ මීටරයක් යා යුතුය. මඩොල් දූව ගැන පමණක් නොව කොග්ගල පොල් ගසක් ගැනවත් මාර්ටින් වික්‍රමසිංහ නම සිහිපත් නොකොට කතා කළ නොහැකිය.

කොග්ගල් බීච් හෝටලයට ඇතුළු වූ විගස සිහිපත් වූයේ මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ දියණිය - පුතා - බෑනාවරුන් ය. වික්‍රමසිංහ පවුලට සම්බන්ධ වූ තවත් සහෘදයකු කොග්ගල බීච් හෝටලයේදී එක්වරම මට සිහිපත් විය. ඒ සපරමාදු මහතා ය. අමාත්‍යංශ ලේකම්වරයකු ලෙසද ඔහු කටයුතු කළේ ය.

මාධ්‍යවේදීන් වූ අපට සපරමාදු මහතා හමුවූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී පිරිසත් සමඟ ඔහු විල්පත්තුවට ගියේ ය. ඒ දින පහකට ය. විල්පත්තුවේ එක බංගලාවක එක දවසක් බැගින් බංගලා පහක අපි නතර වී සිටියෙමු. වනජීවී අධ්‍යක්ෂ පර්සි මහතාත් දොස්තර නන්දන අතපත්තු මහතාත් අප සමඟ සිටියහ. අතපත්තු දොස්තර මහතා ගියේ විල්පත්තුවට ඇතුළු වන ප්‍රධාන මුරපලේ සිටි අලි පැටවකු ලෙඩ වී ඌට බෙහෙත් කිරීමටය.

යාත්‍රාව පැදවූ බී.විමලසිරි

අප සමඟ පින්තූර ගැනීමට ගිය දයා රණවීරට (අද ජීවතුන් අතර නැත) එදා රෑ වමනය සහ උණ වැළඳුණි. අලි පැටවාට බෙහෙත් කරන්නට ආ දොස්තර අතපත්තුට දයා ගැන කීවෙමු. ඔහු සැතපුම් දහයක් එහා මරඳමඩුවට ජීප්රිය යවා අලි පැටවාට දීමට ගෙනා බෙහෙත්වලින් ඉතිරි වූ කොටස ගෙන්වා ගත්තේ ය. දයාට රෑම බෙහෙත් පෙති පෙව්වේ ය.

උදේ සැප පුටුවක ඇළ වී සිටි සපරමාදු මහතා "දැන් දයාට කොහොමදැයි " මගෙන් ඇසීය

"හොඳටම සනීපයි. හැබැයි ලොකු ප්‍රශ්නයක්" මම කීවෙමි.

"ඇයි? ඇයි?" ඔහු පුදුමයට පත්වෙමින් ඇසුවේ ය.

"එයා කන්න ඉල්ලන්නේ පොල් අතුයි කිතුල් බඩයි. හරිම ප්‍රශ්නයක්" මම පැහැදිලි කර දුන්නෙමි.

බඩඅල්ලා ගෙන විනාඩි ගණනක් සිනාසුණ සපරමාදු මහතා එයාට අපි අලි බෙහෙත් දීපු එකේ වැරැද්ද නේදැ'යි ඇසුවේ ය.

මඩොල් දූව ගැන ලියන්නට ගොස් විල්පත්තුව ගැන ලීවේ. මාර්ටින් වික්‍රමසිංහ පවුලට සම්බන්ධ වූ සපරමාදු මහතා ඇසුරට ගැළපෙන හොඳ මහත්මයකු නිසා ය.

අපේ ගමනට සියල්ල සූදානම් කිරීමේදී කොග්ගල බීච් හෝටලයේ කළමනාකරු පී.ලියනගේ දැක් වූ අනුග්‍රහය මුලදීම සිහිපත් කළ යුතුය. ඔහුගේ හෝටලයට එන විදේශීය සංචාරකයන් තුළ ජාතික වශයෙන් වැදගත් තොරතුරු හා විවිධ අදහස් ඇතුළු කිරීමට ඉමහත් වෙහෙසක් ගනී.

මේ ගමන යන්නටත්, මඟ පෙන්නවන්නටත් කොග්ගල බීච් හෝටලයේ ඩී.එච්.සෝමසිරි මූලිකත්වය ගත්තේ ය. අප සමඟ බෝට්ටුව පැදවීමට බී. විමලසිරි 'චණ්ඩියෙක්' වගේ සරමකින් කමිසයකින් සැරසී සිටියේ ය. මඩොල්දූවට නොව මඩොල්දූවේ කියැවෙන ගිනි හට්ටි හොල්මන බලන්නට වුව යාමට විමලසිරි සූදානම් ය. වෙනත් අයගෙන් මඩොල් දූවට යෑමට අයකරන බෝට්ටු ගාස්තු ගැනත් විමලසිරි පැහැදිලි කර දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ඇති එකම ස්වභාවික කලපුව තරණය කිරීම ආරම්භ කරන විට දහවල් 12 ට ආසන්නය. මෙම කලපුවට ජලය එන අතු ගංඟා දිය ඇලි කිසිවක් නැත. ස්වාභාවිකව උණන ජලයෙන් කලපුව හැමදාමත් පිරී පවතී. කරදියෙන් පිරි කලපුවේ මුහුදේ සිටින මාළු වර්ගවලින් අඩුවක් නැත.

එදා වගේම ගමේ මිනිසුන් මාළු බාන්නේ ඔරුවෙන් ගොසින් බිලි පිතිවලිනි. දැල් දමන අය ද සිටිති. අප කලපුවට ඇතුළුවන විටම ඔරුවක සිටින දෙදෙනකු බිලිපිති දෙකකින් මාළු අල්ලන හැටි බෝට්ටුවේ සිට අපි බලා සිටියෙමු. එදා මෙදා තුර මාළුන්ට දමන ඇම ගිලින මාළුවා සිය අවසන් ගමන ඔරුව ඇතුළේ ම අවසන් කරයි.

එදා මෙදා තුර කිසිම මාළුවකු ඇම ගිලින්නේ නැතිව මඟ හැර නොයන්නේ ඇම ගිලීමෙන් තොරව කුස පුරවාගත නොහැකි නිසා ය. තමන්ගේ ජීවිතය උදුරා ගන්නට ඇම දමන මිනිසුන්ට එරෙහිව මාළුන්ගේ විරෝධයක් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කවදාවත් පළ නොවනු ඇත.

මඩොල් දූව බලා යන ගමනේදී අපගේ වම්පසින් ගාලු පාර, කොග්ගල ගුවන් හමුදා කඳවුර එදා තිබුණ එළිමහන් සිර කඳවුර මෙන්ම නිදහස් වෙළඳ කලාපය දැකගත හැකි ය.

"ඔය දකුණු පැත්තේ තියෙන්නේ කුරුලු දූපත. ඒකට ගුවන් හමුදාව යන්න දෙන්නේ නෑ. ඒකෙ ඉන්න කුරුල්ලන් ගාල්ල හබරාදූව වැනි නගර දක්වා පියාඹන්නේ ආහාර සොයා ගෙනයි. මේ වෙලාවට ඉන්නේ උකුස්සෝ විතරයි". සෝමසිරි විස්තර කරයි.

උදේට බස් රියෙන්, දුම්රියෙන් කට්ටිය නගරෙට වැඩට යනවා වගේ කුරුල්ලෝද ආහාර සොයා ගැනීමට නගරයට යති. උකුස්සන්ට ඈතට ඉගිල යන්නට අවශ්‍ය නැත. ඌට අවශ්‍ය කෑම දූව වටේ ගලන කලපුවේ ඕනෑතරම් තිබේ. උන්ගේ උකුසු ඇසට හසුනොවී මාළුවෙකුට ගැල වී යා නොහැක.

මේ වේලාවේම ගසක මුදුනේ සිටි උකුස්සකු ගුවන් යානයක් සේ පහළට පියාඹා වතුරෙන් උඩට මතු වූ මත්ස්‍යයකු ඩැහැ ගත්තේ ය. ඡායාරූප ගන්නට ගිය දීයගහගේ ගේ කැමරාවට ඒ උකුස්සා හසු වන්නට ඇතැයි සිතමි. අපි මඩොල් දූවට ගොඩ බැස්සෙමු. "ඉස්සර පොල් ගස් පේළි තුනක් විතර ඉවුරේ තිබුණා. දැන් ඒවා හේදිලා ගිහින්" විමලසිරි කීවේ ය.

මඩොල් දූවට අඩිය තබද්දී අපට පෙනුණේ ඉවුරේ පොල් නොවේ. එලොව පොල් ය.

දූවේ සැඟ වී සිටින මිනී මරුවා - රෑට ඔරුවෙන් ඔහු සොයාගෙන එන ගෑනි සහ දරුවා - ගලක් උඩ අව්ව තපින ගොරහැඩි කිඹුල් තඩියා - ජින්නාට දෂ්ට කළ නයි හාමි - ගිනි හට්ටිය හිස මත තබාගෙන එහා මෙහා යන හොල්මන - උපාලි ගිනිවැල්ලේ ගේ අල බතල, එළවළු - කෙසෙල් ගස් යන මේ සියල්ල අපට චිත්‍රපටියක් සේ එකින් එක ප්‍රදර්ශනය විය.

අප ඇතුළු වූ විගසම අපට මුණ ගැසුනේ නයි පොළඟුන් වැනි සර්පයන් නොවේ. කිඹුලකු නොවේ. තරුණ වියේ කොල්ලෙක් සහ කෙල්ලෙකි. කෙල්ලගේ දෑසේ නොව ඔළුවේ අව් කණ්ණාඩියකි.

"මේ දෙන්නා මොන මඟුලකට මේ කැලේ රිංගුවාදැ'යි අසන්නට මට සිතුණි. වයසත් සමඟ සිතට නැඟුණු ඊර්ෂ්‍යාව නිසා මතු වූ එම සිතුවිල්ල මුළු සිතින්ම ඉවත් කර ගත්තෙමි.

අඩිපාර දිගේ උඩට නැග්ගෙමි. සෙක්කුවක් සහ පාළු ළිඳක් හමුවිය. සෙක්කුවක් තිබේ නම් සෙක්කුවේ බඳීන්නට හරක් ඉන්නට ඇත. ගලෙන් බැඳපු ළිඳක් ඒ ළඟම තිබීමෙන් මිනිසුන් සිටින්නට ඇතැයි නිගමනය කළ හැකිය. මිනිසුන් සහ හරක් අතර වෙනස හඳුනා ගත හැක්කේ ලස්සන වතුරින් පිරී තිබිය යුතුª ළිඳක් පොලිතීන් හිස් ප්ලාස්ටික් බෝතල් බියර් කෑන් සහ බෝතල්වලින් ළිඳ ගොඩ වී තිබෙන හැටි දකින විටය.

කෙසේ හෝ මඩොල් දූවේ එදා මෙන් සර්පයෝ නැත. බලන්නට අමුතු දෙයක් ද නැත. අඩි පාරවල් එමට තිබේ. කොතරම් දුර ගියත් දකින්නට යමක් නැත. ඒ නිසා අපි යළි බෝට්ටුවට ආවෙමු.

ඊළඟට අපි ගොඩ බැස්සේ ආරණ්‍ය සේනාසනයකටය. එහි සංඝරත්නයට කුටි තිබේ. සංඝයා වහන්සේට දානය දෙන පිරිස ඈත පළාත්වල සිට පැමිණෙති. හාමුදුරු නමක් හමුවන්නට අප උනන්දු නොවුණේ උන්වහන්සේලා දන් වළඳන බැවිනි.

ආරණ්‍ය මිනිසුන්ගේ දෑස්වලට ප්‍රිය මනාපය. එහි වැඩ සිටි නායක හිමිවරුන් දෙදෙනකුගේ සොහොන් කොත් දෙකක් ද තිබේ. දිව්‍ය ලෝකයට යාමට හැකි නම් එය අයිති කර ගන්නට නඩු කියන මිනිස්සු සිටිති. ආරණ්‍යයේ අයිතියට දැන් පිරිසක් නඩු කියන්නේ ඒ නිසා ය.

ඊළඟට අප ගොඩ වූයේ ගංදූවටයි. පවුල් හයක් පදිංචිය. රැකියාව කුරුඳු තැලීමයි. අප ගිමන් අරින්නට රුවන් කෝට්ටගේ ගෙන ගොස් තිබුණ මාළු කෑල්ලක රස බලන්නට හැකි වූයේ ගංදූවේ සරත්ගේ ගෙදර වාඩිවෙලා ය. පවුල් හයේ අයට මාර්කට් යන්නට - දරුවන් පාසල් යවන්නට ඔරු හයක් තිබේ.

ටී.කේ සරත් ගේ වයස 47 කි. දුව සහ පුතා යන්නේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ මහ විදුහලට ය. බිරිඳ කුරුදුවලින් පැකට් හදා විකුණයි. කුරුඳු කුඩු කෝපි වගේ බොන්නට හැකි බව දැන ගත්තේ සරත් ගෙනි. පිටරට සුද්දන් කුරුඳුවලට කැමතිය. සුද්දන් සමඟ කතා කරන්නට සරත්ට පුළුවන. ඔහු ජර්මන් භාෂාවද දනී.

"මඩොල්දූව ගැන මොනවද ආරංචි" මම ඇසුවෙමි.

"පොතේ තියෙන ටික තමයි මාත් දන්නේ. අපි නම් ඒකට යන්නේ නෑ" සරත් කීවේ ය.

සරත්ගේ අයියා සනී ද සිල්වා කැඳවා ගත්තේ ඔහුගෙන්වත් මඩොල්දූව ගැන දැන ගන්නට ය.

"ඒත් ඉතින් සොරි තමයි.

"අපි දන්නෙත් පොතේ තියෙන විස්තර විතරයි" සනීගෙ පිළිතුරද එයයි.

මඩොල්දූව ගැන කිසිම තොරතුරක් දන්නා කිසිවකු කොග්ගල දැන් නැත. කියන්නට අමුතු විස්තරයක් ද නැත. එය දූපතක් පමණක් පෙනෙන්නට තිබේ. 1993 සිට පටන් ගත් බෝට්ටුවලින් මඩොල් දූවට යන්නට පහසුකම් තිබේ.

කොග්ගල බීච් හෝටලයේ කලමනාකරු ලියනගේ මහතා අපට දිවා භෝජනය සූදානම් කර තිබුණි. හෝටලයේ පී.ආර්. කලුපහනට සහ සුනන්දට අපේ ස්තූතිය හිමිවෙයි.

අපි සුහදකම ගොඩ නඟාගෙන කොළඹ ආවෙමු. මඩොල් දූව අපට සිහිනයක් වගේ ය. අප මුලින්ම කී නූතන විචාරකයා කියන පරිදි නවකතාව යනු මනඞකල්පිතයකි. එසේ නම් මඩොල්දූව නවකතාවද මාටින් වික්‍රමසිංහගේ මනඞකල්පිතයක් විය හැකිය. කෙසේ හෝ කොළඹ පැමිණ මම මඩොල්දූව නවකතාව යළි කියැවීමි. මා සමඟ ගිය නෙවිල් මඩොල් දූව කියැවූයේත් නැත. ගමන ඔහුට ජොලියකුත් නැත. හේතුව මාදුගඟේ ගියා වගේ සංගීතය සහ බෝතල් නොතිබුණ නිසා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා