දිමි බිත්තර ඇමට යොදා මාළු බෑ 2ක් කොටු වෙති

දිමි බිත්තර ඇමට යොදා මාළු බෑ 2ක් කොටු වෙති

මාතර කිරළ කැලේ ප්‍රදේශයේ දී දිමි කූඩු කඩා එහි බිත්තර යොදාගෙන මාළු බෑමේ යෙදුණ පුද්ගලයන් දෙදෙනකු මාතර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මාතර දුම්රිය ස්ථානයේ සේවකයකු බව හෙළි වේ.

මෙම පුද්ගලයන් දෙදෙනා කිරළ කැළේ රක්‍ෂිත ප්‍රදේශයට ඇතුළුවී එහි ගස්වල තිබූ දිමි ගොටු කඩා එම දිමි ගොටුවල ඇති බිත්තර ඇමට යොදමින් මාළු බෑමේ යෙදී ඇත.

පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී දිමි බිත්තර දසදහසකට ආසන්න ප්‍රමාණයක් (10000) සොයා ගෙන ඇත. ඔවුන්ට එරෙහිව වන සත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින් සැකකරුවන් ඊයේ (12) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

දිමියන් සම්බන්ධ චොදනාවක් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට පැවරී ඇති නඩුවත් මෙය විය හැකි බව නීති ක්ෂේත්‍රයේ පුද්ගලයෝ පෙන්වා දෙති. මාතර දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කේ. එම්. සී. මදුසංක, පො. සැ. අශෝක පි‍්‍රයංකර, පො. සැ. කරුණාරත්න, පො. සැ. සරත් කුමාර ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා