සතියට දින දෙකේ සේවයට නෝනා මාසෙම පඩිය ගනී

සතියට දින දෙකේ සේවයට නෝනා මාසෙම පඩිය ගනී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අංශාධිපතිනිය සතියකට දින දෙකක් පමණක් සේවය කර මාසිකව වැටුප් ලබා ගන්නා බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට තොරතුරු ලැබී තිබේ.

අංශාධිපති තනතුරු දරන ආචාර්යවරයකු සතියේ දින පහම සේවයට පැමිණිය යුතු වුවත් මැය විශ්වවිද්‍යාලයේ රැඳී සිටින්නේ අඟහරුවාදා සහ බදාදා දිනවල පමණක් බවට අනාවරණය වේ.

මේ අංශාධිපතිනිය අඟහරුවාදා කොළඹ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන අතර බදාදා යළි විශ්වවිද්‍යාලයෙන් පැමිණේ. ඇය නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ඊළඟ අඟහරුවාදායි. මේ වන විට නීති පීඨයේ සිසුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍යතාවක් වුවහොත් අංශාධිපතිනිය පැමිණෙන තෙක් සතියක් බලා සිටීමට සිදුවේ.

මේ අංශාධිපතිනිය නීතිය පිළිබඳ ආචාර්යවරියක් ලෙස මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ දේශන පවත්වන බව පැමිණිලිකරුවෝ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ දේශන පවත්වන ආචාර්යවරියක ලෙස සිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන අයුරින් ක්‍රියා කිරීම සුදුසුදැයි ඔවුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රශ්න කර ඇත.

සේවය නිසි ලෙස ඉටු නොකර මහජන මුදලින් වැටුප් ලබා සිසුන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කරන මේ අය ගැන සොයා බලන්නැයිද ඉල්ලීමක් කර ඇත.

මේ අංශාධිපතිනිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට මින් පෙරද නිර්නාමිකව තොරතුරු ලැබී ඇති අතර සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසකගෙන් ද පැමිණිල්ලක් ලැබී ඇත.

මේ පිළිබද අප කළ විමසුමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරියකු ප්‍රකාශ කළේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවයි. තවත් විශ්වවිද්‍යාල කිහිපයකම ආචාර්යවරු පිළිබදව ද මෙවැනි චෝදනා තිබෙන බැවින් ඒ පිළිබඳවද විමර්ශනය කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා