ශ්‍රී ලංකා පිල අද නව ජවයකින් පිටියට

දින 14කට පසුව නැවත හමුවන ලෝක සූරයන්ට එරෙහිව

ශ්‍රී ලංකා පිල අද නව ජවයකින් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව නව ජවයකින් යුතුව අද පිටියට පිවිසෙයි.

බංග්ලාදේශයේ මීර්පුර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දිවා - රාත්‍රී තරගය අද පස්වරු 1.30 ට ආරම්භ කෙරේ.

ගෙවී ගිය මාස තුනක කාලයේදී ප්‍රබල ඇදවැටීමකට ලක්වූ දෝනිගේ ඉන්දීය පිල ප්‍රබල මානසික පීඩනයකින් යුතුව තරගයට පිවිසෙනු ඇත. ඔස්ට්‍රේලියාවේදී අවසන් තරගාවලියෙන් ඉවතට ගිය ඉන්දීය පිල අද තරගයේදී මද වේග පන්දු යවන අශෝක් ඩින්ඩා කෙරෙහි විශාල බලාපොරොත්තු තබා ඇතැයි නායක දෝනි පැවැසීය. දකුණතින් මද වේග පන්දු යවන ඩින්ඩා තවමත් එක්දින තරග 5 කට ක්‍රීඩා කර අත්දැකීම් අඩු ක්‍රීඩකයෙකි.

එයට අමතරව තම කණ්ඩායමේ තුන් ඉරියව් දක්‍ෂතා ඇති යුෂුෆ් පතාන් හා රවින්ද්‍ර ජඩේජා කෙරෙහි විශාල බලාපොරොත්තු තබා ඇතැයි දෝනි පැවැසීය.

දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතිල්ලේ මැද පෙළ පිතිකරුවන්ගේ ස්ථාවරභාවය ගැන මහේල ජයවර්ධන විශ්වාසයෙන් පසුවෙයි.

යොවුන් ක්‍රීඩකයන්ගේ ආගමනය හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නිසි ලෙස වගකීම භාරගැනීම යන හේතු මත ශ්‍රී ලංකා පිල දැන් නිවැරදි ජයග්‍රාහී මාවතකට පිවිස ඇතැයි නායක මහේල ජයවර්ධන පවසයි. එහෙයින් ලෝක සූර ඉන්දීය ක්‍රිකට් පිලට අද තරගයේදී විශාල අභියෝගයක් එල්ල කිරීම ශ්‍රී ලංකා පිලේ සැලසුම වී තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව මෙයට දින 14 කට කලින් අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී මුණ ගැසුණි. එම තරගයේදී කණ්ඩායම් දෙකම විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට සමත් විය. ඩිල්ෂාන් හා සංගක්කාර ශතක වාර්තා කළ අතර විරාට් කෝලිගේ අනපේක්‍ෂිත ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

ආසියානු ක්‍රිකට් තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව කරට කර දක්‍ෂතා දක්වා ඇත. ශ්‍රී ලංකාව වැඩිම තරග ප්‍රමාණයකට සහභාගි වී ආසියානු කුසලාන තරගාවලියේ අත්දැකීම් බහුලව ලබා සිටීම විශේෂ වාසියකි. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ තරග 40 කට සහභාගි වී ජයග්‍රහණ 29 ක් ලබා ඇත. ඉන්දියාව මෙතෙක් තරග 36 කට සහභාගි වී ජයග්‍රහණ 22 ක් ලබා සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආසියානු ක්‍රිකට් තරගාවලියේදී මැද පෙළ ක්‍රීඩකයන්ගේ ස්ථාවර භාවය පිළිබඳ දැඩි විශ්වාසය පළකර සිටී. නැඟී එන ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න මැදපෙළට ස්ථාවරභාවයක් ලබාදීම ශක්තියක් බව මහේල පවසයි.

”ශ්‍රී ලංකා පිල නැවැත නඟාසිටුවීමේදී ඩිල්ෂාන්ට ලොකු කාර්ය භාරයක් තිබෙනවා. ඒ නිසා මගේ කටයුතු පහසු වෙලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නේ වගකීම් ගන්නයි. කණ්ඩායමේ හොඳම ප්‍රතිඵල ගන්න සියලු දෙනා නම්‍යශීලීව ක්‍රීඩා කළ යුතුයි” ජයවර්ධන පැවැසීය.

ශ්‍රී ලංකා පිලට වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ඇති හෙයින් දැනට සිටින ක්‍රීඩකයන්ට වඩා ලොකු සංචිතයක් අවශ්‍ය බව ද ජයවර්ධන වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා පිල - මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), දිනේෂ් චන්දිමාල්, ටී. එම්. ඩිල්ෂාන්, කුමාර සංගක්කාර, උපුල් තරංග, ෆර්විස් මහරූෆ්, ළහිරු තිරිමාන්න, සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර

ඉන්දීය පිල - එම්. එස්. දෝනි (නායක), විරාට් කෝලී, රවිචන්ද්‍රන් අශ්වින්, අශෝක් ඩින්ඩා, ගෞතම් ගාම්බීර්, රවින්ද්‍ර ජඩේජා, ප්‍රවීන් කුමාර්, ඉර්ෆාන් පතාන්, යුෂුෆ් පතාන්, සුරේෂ් රයිනා, රාහුල් ෂර්මා, රෝහිත් ෂර්මා, සචින් තෙන්ඩුල්කාර්, මනෝජ් තිවාරි, විනේ කුමාර්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා