ප්‍රභාට වැඩිය හොඳින් හමුදාව අපට සැලකුවා

මානුෂික මෙහෙයුම් ගැන අමෙරිකාවට වැටහීමක් නෑ!

ප්‍රභාට වැඩිය හොඳින් හමුදාව අපට සැලකුවා

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෝ කියති

අපට හිරිහැර කළේ කොටි ත්‍රස්තවාදීන් මිස ශ්‍රී ලංකා හමුදාව නොවෙයි. හමුදා සෙබළුන් අපට ආදරයෙන් සැලකුවා. රජය මානව හිමිකම් කඩ කළා කියලා පිටරටවල ඉඳලා සමහරු කියන කතා අපි පිළිගන්නේ නැහැ. පුනරුත්ථාපන ජනරාල් කාර්යාංශය යටතේ වසරක කාලයක් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ. සාමාජිකයෝ ඊයේ (12) මහනුවර දී එසේ ප්‍රකාශ කළහ.

දිනාගත් නිදහස රැකගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සැවොම එක්වෙමු යැයි ද, ඔවුහු ශ්‍රී දළදා මැදුරේදී පැවසූහ.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ සංකල්පයක් අනුව සාම චාරිකාවක් සඳහා ඊයේ (12) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ සිය අදහස් ප්‍රකාශ කළහ.

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් 384 දෙනෙකු මෙම චාරිකාව සඳහා එක්ව සිටියහ.

පුනරුත්ථාපනය ලද කණ්ඩායම් නායකත්වය හෙබවූ තංගවේල් කෝකිලන් මෙසේ අදහස් දැක්වීය.

තංගවේල් කෝකිලන්

”මම වසර 2 1/2 ක් එල්. ටී. ටී. ඊ. යේ හිටියා. පාසල් යනකොට මාව බලෙන්ම ඒ අය ඔවුන්ගේ සංවිධානයට බඳවා ගත්තා. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව සටන් කිහිපයකටම මම සම්බන්ධ වුණා. එල්. ටී. ටී. ඊ. ය අපේ ඔලුවලට දාලා තිබුණේ වෙනමම දෙයක්. ඒ සේරම බොරු කියලා දැනෙන්නේ සිංහල මිනිසුන් ආශ්‍රය කරන කොටයි. අවසන් සටන් කාලේ අපි පැනලා හමුදාව පැත්තට ආවා. ඔවුන් අපට ආදරයෙන් සැලකුවා.

ජනාධිපතිතුමා අපි ගැන නිතර සොයා බලන බව අපිට දැනගන්න ලැබෙනවා. එල්. ටී. ටී. ඊ. එකයි මේ හමුදාවයි මනුෂ්‍යකම අතින් අහසට පොළව වගේ. තුවක්කුව විසිකරලා රටට වැඩක් කරන්න දැන් අපිට අවස්ථාව ලැබිලා. සිංහල දෙමළ බේදයක් නැතුව අපිට එක රටක් ලෙස ඉදිරියට යන්න ඕන. මේ රට අපි හැමෝගෙමයි. එක එක කෑලි එක එක ජාතීන් වෙන්කර ගන්න ගියොත් මේ උදා වී තිබෙන නිදහස විනාශ වේවි. ජනපතිතුමන් දිනා දුන් නිදහස රැකගන්න අපි හැමෝටම වගකීමක් තිබෙනවා.

පුනරුත්ථාපනය ලද මහේන්ද්‍ර සුභාෂිනි – මම විවාහකයි. සැමියා යුද්ධයේදී මිය ගියා. එල්. ටී. ටී. ඊ. යට මාව බඳවා ගත්තේ බලහත්කාරයෙන්. අද අපි ජීවිතේ සතුට අත්විඳිනවා. පිටරටවල ඉන්න සමහරු මේ රටේ සාමයට අකමැතියි. ඒ නිසා ඔවුන් වැරදි මත පළකරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම සමඟියෙන් ජීවත්වෙන්න පුළුවන් පසුබිම ජනපතිතුමා උදා කළා. අපි එය රැකගත යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා