ගමේ කිසිම කෙනෙක් තොරතුරු දුන්නේ නෑ

කහවත්ත ද්විත්ව ඝාතනය

ගමේ කිසිම කෙනෙක් තොරතුරු දුන්නේ නෑ

කහවත්තේ ද්විත්ව ඝාතනයට අදාලව රහස් පොලිසිය පර්යේෂණ (විද්‍යාත්මක) සාක්ෂිවලින් අනාවරණය කරගත් තොරතුරු සියල්ල අපරාධකරුවන්ගේ පාපොච්චාරණවලින් ඔප්පු වී තිබේ.

මේ අපරාධය සම්බන්ධව කහවත්ත ප්‍රදේශයේ කිසිම පුද්ගලයකු වාචික සාක්ෂි වශයෙන් කිසිම තොරතුරක් ලබා දෙමින් පොලිසියට සහයෝගය ලබා දී නොමැති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවැසීය. එම නිසා ඇසින් දුටු සාක්කි කිසිවක් නොමැත. අපරාධකරුවන් කර ඇති පාපොච්චාරණ අධිකරණය ඉදිරියේ දී වෙනස් කිරීමට උත්සාහ කළත් විද්‍යාත්මක සාක්කිවලින් අපරාධය තදබල ලෙස හෙළිවී තිබේ.

කහවත්තේ මව සහ දියණිය ඝාතනයට ප්‍රධාන හේතුව අපරාධකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ඝාතනයට ලක්වූ මව සහ දියණිය දැන සිටීමයි.

ඝාතනයට ලක්වූ එම මව සහ දියණිය අපරාධකරුවන්ගේ නිවෙස අසල පදිංචි අයයි. මියගිය කාන්තාව දිනක් එම නිවෙසට යනවිට මත්කුඩු තොගයක් සහ කුඩු පැකට් දැක ප්‍රධාන සැකකරුගේ බිරියගෙන් ඒ පිළිබඳ විමසා තිබේ.

එදින ඇතිවූ අමනාපය දුරදිග යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මේ අපරාධය සිදුකර ඇත. ඝාතනයට ලක්වූ දියණිය කුඩු පැකට් ගෙනයාමට යොදාගත් බව අසත්‍යයකි. නිවෙසේ ලේ පැල්ලම්වලට තීන්ත ගෑ බව සහ දොර රෙදි පුටු කවර පුළුස්සා ඇති බවට පලවූ වාර්තා ද අසත්‍ය බව පොලිස්පතිවරයා කියයි.

මේ ඝාතනයට අදාළ තොරතුරු කහවත්ත ප්‍රදේශයේ ඇතැම් අය දැන සිටින බව පවසන පොලිස්පතිවරයා එම තොරතුරු ලබා දී රහස් පොලිස් පරීක්ෂණවලට සහයෝගය දෙන්නැයි ඉල්ලා සිටියි. රජයේ රස පරීක්ෂක, ගිනි විශේෂඥයන්ගේ පරීක්ෂණ වාර්තා ද ලබාගෙන ඇත.

ද්විත්ව ඝාතනයට අදාළ සැකකාර ජූඩ් සහ ඔහුගේ බිරිය වරක් අත්අඩංගුවට ගෙන මුදා හැර තිබිණි.

ප්‍රථම පර්යේෂණ සාක්කිය වශයෙන් ජනවාරි 31 වැනිදා අපරාධකරුගේ ඬ;වසට ලැබුණු දුරකතන පණිවුඩයක් අදාළ කරගෙන තිබේ. ප්‍රධාන සැකකාර ජූඩ්ගේ බිරිය අපරාධය හෙළිකර ඇත්තේ එම දුරකතන පණිවුඩය පිළිබඳ විමසීමෙන් අනතුරුවයි.

මේ අපරාධය හරහා හෙළිවූ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ පරීක්ෂණ මත්ද්‍රව්‍ය කාර්යාංශය හරහා සිදුකෙරේ.

බන්ධනාගාරයට මත්කුඩු සපයන ජාවාරමට සම්බන්ධ අයකු පිළිබඳවද මේ ඝාතනවලට සම්බන්ධ අයගේ ඥාතියෙකු බව හෙළිවී ඇත.

ඝාතනවලට අදාළ පරීක්ෂණවලට කිසිම දේශපාලනඥයකුගෙන් බලපෑමක් ඇති නොවූ බව පොලිස්පතිවරයා පවසයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඝාතනයට අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල දිනපතා පොලිස්පතිවරයාගෙන් විමසා ඇත.

මේ ඝාතනයට අදාළ සියලු පරීක්ෂණ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරාගේ උපදෙස් මත පමණක් සිදුවී තිබේ.

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කහවත්ත ඝාතනයට අදාළ තොරතුරු හෙළිදරව් කළේ ඊයේ (12) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා