අඹ ගසක් නිසා තපසට

යටගිය දවස බණකතා

ගණේගම ඤාණකීර්ති හිමි

අඹ ගසක් නිසා තපසට

බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයා මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස වේදේහ රට මියුලු නුවර මහාජනක නම් රජ කෙනෙකු අරිටු ජනකය, පොළෝ ජනකය යැයි රාජ කුමාරවරුන් දෙදෙනෙකු ලැබ දශ රාජ ධර්මයෙන් යුතු ව රාජ්‍යය කරන්නේ ය. කාලයාගේ ඇවෑමෙන් පිය රජු මියගිය කල්හි අරිටු ජනක කුමාරයෝ රාජ්‍යයට පත් ව පොළෝ ජනක කුමාරයන් ට යුව රජ තනතුර ලබා දුන්හ. මේ අතර එක් අමාත්‍යවරයෙක් අරිටු ජනක රජ්ජුරුවන් ට කේළාම් කියා යුව රජු හා ගැටුමක් ඇති කර විය.

උත්තම පූජා හෙවත් සමතිංසත් පාරමී කතා - එහි දී අරිටු ජනක රජු මරණයට පත් වූ අතර පොළෝ ජනක රජු රාජ්‍යයට පත් විය. බෝසතාණන් වහන්සේ ද අරිටු ජනක රජු ගේ බිසව ගේ කුස පිළිසිඳ සිටි බැවින් අග බිසව ද රජු මළ බව අසා රහසේ ම රජ මාළිගයෙන් පිටත් ව කාළචම්පා නුවර බලා යන්නට වූවා ය. එකල්හි ශක්‍ර දේවේන්ද්‍රයෝ බෝසතුන් ගේ අනුහසින් ඇයගේ දුක දැක රථාචාරියකුගේ වේශය මවා රථයක් ගෙනැවිත් ඇය ගෙන ගොස් කාළචම්පා නුවරට බැස්ස විය.

එකල එනුවර දිසාපාමොක් ඇදුරන් තම ශිෂ්‍ය පිරිස සමග ජලස්නානයට යන අතර මග දි බිසව දැක ඇය වෙත පැමිණි කරුණු දැන තමන් ගේ නිවසට ගෙන ගොස් සත්කාර කළේ ය. නොබෝ කලකින් බෝධිසත්වයන් වහන්සේ ගේ උපත සිදුවිය. ඒ උපන් කුමාරයාට මුතුන් රජ්ජුරුවන් ගේ නම සිහි කොට මහාජනක යැ යි නම් තැබී ය.

බෝධිසත්වයෝ ද කල් යත් ම සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරා නිමවා තමන්ගේ පිය රජු ගේ තොරතුරු තම මෑණියන්ගෙන් දැන රාජ්‍යය ලබා ගැනීමට සිතා සේනා සංවිධානය සඳහා වස්තුව රැස්කිරීමට නැව් නැඟී වෙළෙඳාමෙහි යන්නට වුහ. මේ අතර තුර මුහුදෙහි ඇති වූ කුණාටුවකින් නැව ගිලී ගිය කල්හි බෝධි සත්වයෝ වීර්ය ගෙන ගොඩ බිම බලා පීනන්නට වුහ. මෙසේ සත් දවසක් ගිය කල්හි මහ මුහුද රැකවලෙහි සිටින මණිමෙඛලා නම් දිව්‍ය ස්ත්‍රිය බෝධිසත්වයන් දැක පැමිණ ඔසවාගෙන ගොස් මියුලු නුවර රජ උයනෙහි සතපවා දෙවියන්ගේ ආරක්ෂාව සලස්වා තමාගේ විමානයට ම ගියාය . බෝධිසත්වයෝ ද සත් දවසක් නිදිවර්ජිතව සිටි බැවින් එලෙස ම නිදන්නට වුහ.

මේ අතර වියපත් වූ පොළෝ ජනක රජ්ජුරුවෝ මියපරලොව ගියාහ. අමාත්‍යයෝ රැස්ව රජකම සඳහා රාජ කුමාරයකු නො සිටි බැවින් රජුගේ මංගල රථය මතුරා රජකම සඳහා සුදුසු අයකු සමීපයට යැවී ය. මංගල රථය ද තමා ම ගොස් රාජ උද්‍යානයෙහි නිදා සිටි බෝධිසත්වයන් අසල නතර විය. එකල්හි අමාත්‍යයෝ එක් ව බෝධිසත්වයන් කැඳවා ගෙන ගොස් රාජ්‍යය පවරා දුන්හ. බෝධිසත්වයෝ ද රජ බවට පැමිණ දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරවමින් දන් හල් කරවා බොහෝ දන් දෙමින් කල් යවන්නාහ. එකල සීවලී බිසවුන් රාජ කුමාරයෙක් වැදූහ. ඒ කුමාරයන්ට දීඝායු කුමාරයෝ යැ යි නම් තබා කුමාරයා වැඩි විය පැමිණි කල්හි යුවරජ තනතුර දී වසන සමයෙහි දිනක් උයනට ගිය රජතුමාට උයන් දොර ඵල හටගත් අඹ ගසක් හා ඵල හට නොගත් අඹ ගසක් දක්නට ලැබුණේ ය.

රජ්ජුරුවෝ ද ඵල හටගත් ගසෙන් අඹ ගෙඩියක් කඩා කා උයන් කෙළියට ගිය කල පසුව පැමිණි අමාත්‍යවරු ඇතුළු පිරිස පොලු ගසා අඹ කඩා කෑමෙන් ගස අතුපතු බිඳවා පූහ. ඵල හට නොගත් ගසට කිසිදු හානියක් නොවී තිබුයේ ය. රජ්ජුරුවෝ ද දවල් දවස උයන් කෙළ සවස් කල්හි රජ ගෙට යන ගමනේ උයන් දොරකඩ සිඳී බිඳී ගිය අඹ ගස දැක ඒ පිළිබඳව අමාත්‍යයන්ගෙන් විචාළහ. අමාත්‍යයෝ ද

“දේවයන් වහන්ස, ඵල ඇති වෘක්ෂය විනාශයට පැමිණියේ ය. ඵල නැති වෘක්ෂයට කිසි හානියක් නො වුයේ යැ යි” කීහ.

ඒ ඇසූ රජ්ජුරුවෝ

“සම්පත් ඇතිවීමෙන් වන්නා වු හානිය අඹ ගසට වූවාක් මෙනි. සම්පත් නැති ව සැපසේ තපස් කොට ජීවත්වීම ඵල නොමැති අඹ ගස සේ හානියක් නො වන්නේ යැ යි” සිතා

ගිහිගෙයි ආශාව අතහැර උඩුමහලට වී රජ මාළිගයෙන් ම නික්ම පැවිදි වන අවස්ථාව එළඹෙන තෙක් තපස් රකිමින් සිටියාහ.

එකල මිනිසුන්ගේ ආයුෂය අවුරුදු දස දහසකි. ඒ රජ්ජුරුවන් ගේ වයස ද සත් දහසක් ඉක්ම වුයේ ය. එකල්හි බෝධිසත්වයෝ කරණවෑමියා ගෙන්වා කෙස් කපා පැවිදිව රජ ගෙයින් නික්මුණි. ඒ වේලාවෙහි සීවලී බිසව ද සත් සියයක් බිසෝවරු පිරිවරා පැමිණ බෝසතුන් පා මුල වැඳ වැටී අඬමින් රජ්ජුරුවන් වළකාලන්නට උත්සාහ කළහ.

නුවර වාසි සත්වයෝ ද පැමිණ රජ්ජුරුවන් වළකාලන්නට උත්සාහ කළහ. එසේ වුව ද රාජ්‍යයෙහි ඇල්මක් නැති ව යන්නා වු රජ්ජුරුවන් දැක, අමාත්‍යවරුන් ඇතුළු පිරිස බෝධිසත්වයන් පසුපස යන්නට වුහ.

මේ අතර නාරද නම් තපස් කෙනෙක් හිමාලය වනයෙහි ධ්‍යාන සැපයෙන් දවස් යවා ධ්‍යානයෙන් නැගී දිවසින් බලන කල්හි තාපස වෙස් ගෙන එන්නා වු රජ්ජුරුවන් දැක ඔහු වෙත ගොස්

“දිව්‍ය සම්පත් හා සමාන සම්පත් අතහැර යන්නා වු රජතුමනි, එක්වන් නිද්‍රාව ද, චඤ්චල අලසවීම් ද, උකටලී වීම් ද, පමණ නොදැන ආහාර වැලඳීම ද, වීර්ය නො කිරීම ද, පඤ්චකාමයෙහි ඇලීම ද යනා දි මේ සියල්ල අතහැර රැක්කහොත් තපසින් ප්‍රයෝජන වන්නේ ය. එහෙයින් උකටලී නොව සතර බ්‍රහ්ම විහාර, පඤ්ච අභිඤ්ඤා අෂ්ට සමාපත්ති උපදවා බඹලොව ගිය මැනවැ යි”

අවවාද කොට තමන් වසන්නා වූ ගල් ගුහාවට ම ගියහ. එකල්හි ධ්‍යානයෙන් නැගී සිටි මිගාරජාන නම් තාපස කෙනෙක් ද රජ්ජුරුවන් වෙත පැමිණ

“මහ රජතුමනි, මියුලු නුවර රාජශ්‍රිය අතහැර කුමක් නිසා තපසට පැමිණියෙහි ද? නුවරවාසීන් ගේ කළ කිරීමක් නිසා පැවිදි වුවෙහි ද? එසේ නොමැති නම් තොපට පැවිදි වන්නට උපදෙස් දෙන ලද්දේ බුදු පසේ බුදු රහතුන් විසින්ද? කවුරුන් විසින් මේ උපදෙස් කීවෝදැ යි” ඇසීය.

එවිට රජ්ජුරුවෝ - “තාපසයෙනි, නුවර වාසීන්ගේ හා මාගේ වැරැද්දක් නොවේ. කාගේ හෝ උපදේශයකින් පැවිදි වූයේ ත් නොවේ. දිනක් උයන් දොරකඩ සමීපයෙහි ඵල ඇති ගසක් හා ඵල නැති ගසක් දැක එයින් ඵල ඇති ගසට වු හානිය දැක මේ ගස ඵල ඇති බැවින් ගසට හානි විය. ඇතුන්ට දළ නිසා හානි පැමිණෙන්නේ ය. දිවියන් ට සම් නිසා හානි වන්නේ ය. මනුෂ්‍යයන් ට සම්පත් නිසා හානි වන නියාව දැන මම පඤ්ඤකාමයෙහි ඇලුම් හැර මහණ වීම් යි” කීහ. තාපසයෝ ද සතුටු ව ගිය කල්හි බෝධිසත්වයෝ එතැනින් නික්ම යන්නට වූහ. සීවලී බිසව ද බෝධි සත්වයන් පසුපස ම එන්නීය. මේ අතර එක් අතක එක් වළල්ලක් හා අනිත් අත වළලු දෙකක් සහිත ව ක්‍රීඩා කරන්නා වු කුමාරිකාවක් දුටු බෝධිසත්වයෝ

“කුඩා දැරිය ලවා ම සීවලී දේවියට දොස් කියවම්” යි සිතා

ඇය අසලට ගොස්

“එම්බා කුමාරිකාවෙනි, තොප ගේ එක් අතක වළලු අඬන්නේත් එක් අතක වළලු නො හඬන්නේත් කුමක් නිසා දැ යි” ඇසූහ.

එවිට කුමාරිකාව - “ස්වාමිනි, වළලු දෙක තිබූ හෙයින් එක් අතක් අඬන්නේ ය. එක් අතක එක් වළල්ල නිසා නො හඬන්නේය. එසේ හෙයින් රජ්ජුරුවන්, රාජ්‍ය සේසත හැර දමා තනිව ගොස් තපස් කරතොත් විනා බිසවුන් හා සමඟ මේ කුමන තපස් දැ යි” කීය.

ඒ ඇසු රජ්ජුරුවෝ බිසවුන් අමතා - “බිසවුනි, මේ අඥාන මිනිසුන් ලවා මට නින්දා නො කරව. තොප මේ මග පලා යව. අද පටන් තොප මට බිසෝ කෙනෙක් ද නො වව. තොපට මම ස්වාමි කෙනෙක් ද නො වෙමි යි” කීහ.

එබස් අසා ශෝකයට පත් බිසව හඬා වැලප නැවතත් රජ්ජුරුවන් පසුපස එමින් ඊ වඩුවකුගේ ගෙදරට සිඟා පැමිණියහ. ඊ වඩුවා ඊ දඬු ඇද අරින අයුරු දුටු බෝධිසත්වයෝ ඔහු අමතා

“පින්වත් ඊ වඩුව, තොප එක ඇසින් ඊ දණ්ඩ ඇද හරින්නේ කුමක් හෙයින් දැ යි” විමසීය.

එවිට ඊ වඩුව - “තාපසයාණෙනි, දෑසින් බැලූවහොත් දණ්ඩෙහි ඇදය නො පෙනෙන්නේ ය. එක ඇසින් බැලූවහොත් පෙනෙන්නේ ය. නුඹ වහන්සේ ද තනිව තපස් කිරීම උතුම් වන්නේ යැ යි” කීය.

බෝධි සත්වයෝ ද සිඟා ගත් දන් වළඳා සීවලි බිසව වළකාලන්නට උත්සාහ කරමින් නුවරින් නික්ම වනය සමීපයෙහි තණ පඳුරක් අතින් කඩා කැබලි දෙකක් කොට බිසවුන් අමතා

“එම්බා බිසවුනි, මේ කැඩූ තණ දෙමිට එක් වේ. නමුත් තොප හා මාගේ එක්වීමක් නොවන්නේ ය. තෘෂ්ණාව අතහැරියේ වෙමි. තොප මෙහි රඳව යි” කීහ.

ඒ ඇසු බිසව ශෝකයෙන් සිහි මුර්ජාවී වැටුණාය. එකල්හි රජ්ජුරුවෝ වහා හිමාලය වනයට නික්ම ගොස් තුන් දහසක් අවුරුදු ඝෝර තපස් කොට සතර බ්‍රහ්ම විහරණයෙන් භාවනා කොට බ්‍රහ්ම ලෝකයෙහි ම උපත ලැබූහ.

සීවලී බිසවුන් පසුපස පැමිණි අමාත්‍යයෝ ද බිසවුන්ට පැන් ඉස සිහි ගන්වා රජ්ජුරුවන් සොයා නො දැක ආපසු නුවරට පැමිණ දීඝායු කුමාරයන් රජ බවට පත් කළේ ය. සීවලී බිසව ද පැවිදි ව මඟුල් උයනේ කල් යවා කම් වූ පරිද්දෙන් මියපරලොව ගියා ය.

එකල මණිමේඛලා දිව්‍යාංගනාව නම් උප්පලවණ්නා තෙරණිය හ. මිගාරජින තාපසයෝ නම් මුගලන් තෙරණුවෝ ය. නාරද තාපස නම් සාරිපුත්ත තෙරණුවෝ ය. ක්‍රීඩා කළ කුමාරිකාව නම් ඛේමා තෙරණියෝ ය. ඊ වඩුවා නම් ආනන්ද තෙරණුවෝ ය.

සීවලී බිසව නම් යසෝදරා තෙරණියෝ ය. දීඝායු කුමාරයෝ නම් රාහුල තෙරණුවෝ ය. අරිටු ජනක රජ්ජුරුවෝ නම් සුද්ධෝදන රජතුමන් ය.

මව් බිසව නම් මහාමායා දේවිය ය. මහා ජනක රජ්ජුරුවෝ නම් බුදු රජාණන් වහන්සේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා