බටහිර දෙබිඩ්ඩෝ !

බටහිර දෙබිඩ්ඩෝ !

මානව හිමිකම් යනු බටහිර උප්පරවැට්ටියක් බව මීට ඉහත දී අපි කියා ඇත්තෙමු. ඒ ගැන විවිධ කෝණයෙන් සාකච්ඡා කර ඇත්තෙමු. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහිම මානව හිමිකම් කවුන්සිලය ද කටයුතු කරනුයේ ඊට වෙනස් ආකාරයෙන් නො වේ. ඔවුන්ගේ අරමුණ කුමන්ත්‍රණකාරී ලෙස දුප්පත් රටවලට ඇඟිලි ගැසීම ය. යටත්විජිතවාදය ශිෂ්ට ලෙස ක්‍රියාත්මක කිරීමක් හැටියට ද එය හැඳින්විය හැකි ය. ඔවුනට ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියකි. මේ බව වටහාගත්ත ද ඊට එරෙහි ව බලවත් සටනක් දිය හැකි සංවිධානයක් ලෝකයට නැත.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ඊයේ සිට සාකච්ඡා වීමට නියමිතව තිබිණි. මේ තීරුව ලියන මොහොත වනවිට ඊට අදාළ තොරතුරු ලැබී නො තිබිණි. මේ ඔස්සේ ප්‍රබල සංවාදයක් මතුවීමට ඉඩ තිබේ. රටවල් හතළිස් ගණනක නියෝජිතයන් සංවාදයට එක්වනු ඇත. කිහිප දෙනකු නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ද පුළුවන. කෙසේ වුව ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ වැටහීමක් ලෝකයේ බොහෝ රටවලට තිබේ. සත්‍යය වටහාගන්නේ නම්; අමෙරිකාවත් සමඟ මේ යෝජනා පරාජයට පත්විය යුතු ය.

ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුනනායගම් මහත්මිය කියන ලෙස මේ පිළිබඳ ඡන්ද විමසීම මාර්තු 22 හෝ 23 දිනක දී සිදු විය හැකි ය. එම ඡන්ද විමසීම හා එහි ප්‍රතිඵලය ගැන මුළු ලෝකය ම බලා සිටිති. ඡන්ද විමැසීමේ දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ප්‍රබල රටවල් රැසක් ඉදිරිපත් ව සිටිති. ඔවුන්ගේ එක් අදහසක් වනුයේ ත්‍රස්තවාදය පරාජය කොට ශ්‍රී ලංකාවට සාමය උදා කළ වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමෙන් වැළකී රටේ සංවර්ධනය සඳහා සහයෝගය ලබා දීම වැදගත් බව ය.

2009 මැයි 19 දා ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ ශක්තිමත් විය. සමාජමය වශයෙන් විශාල සංවර්ධනයක් කරා රට ගමන් කරමින් සිටී. ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම හා නැවත පිදිංචිකිරීම් ඉතා සාර්ථකව සිදු වේ. ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම්වලට හොඳම සාක්ෂ්‍යය අත්අඩංගුවට පත් එකොළොස් දහසකට වැඩි එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිස මහත් වියදමක් දරා පුනරුත්ථාපනය කිරීම ය.

මෙලෙස පුනරුත්ථාපනය වූ තවත් කණ්ඩායමක් පසුගිය දා දළදා මාළිගාව වෙත ගියහ. දළදා මාළිගාව යනු ත්‍රස්තයන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ සිද්ධස්ථානයෙකි. එහි ගිය පිරිස අපූරු අදහසක් ද පළ කළහ. එනම්; එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා හොඳින් හා මිත්‍රශීලී ලෙස ආරක්ෂක හමුදාවන් තමනට සැලකූ® බව ය. අමෙරිකාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සොයා බලන්නේ නම්; ඒ තරම් හොඳ නිදර්ශනයක් තවත් නැත. ත්‍රස්තවාදීන්ගේ හැසිරීමත්, ආරක්ෂක හමුදාවන්ගේ හැසිරීමත් නිරීක්ෂණය කළහොත් මෙහි යථාර්ථය වටහා ගත හැකි ය. එහෙත් බටහිර රටවල් ඒ සඳහා උනන්දු වන්නේ නැත.

ආගමික නායකයන්, දරුවන්, ස්ත්‍රීන්, සමාජ ක්‍රියාධරයන් අමු - අමුවේ ඝාතනය කළ එල්.ටී.ටී.ඊ සංවිධානය අමෙරිකාවට යහපත් ය. ඔවුන් කළ ඝාතන ගැන විමසුමක් අමෙරිකාවට නැත. අමෙරිකාවේ හමුදා සෙබළෙක් ඇෆ්ඝනිස්ථානයේ කඳවුරකින් එළියට පැන ජනාවාසයකට කඩා වැදී සිවිල් වැසියන් ගණනාවක් නිස්කාරණේ මරා දැම්මේය. මේ වෙඩි තැබීමට අදාළ ආසන්න හේතුවක් නැත. එය හුදු පළිගැනීමක් හෝ වෛරය පිරිමසා ගැනීමක් හෝ විය හැකි ය. නෙටෝ හමුදාවෝ දිනපතාම පාහේ මෙබඳු ඝාතන සිදු කරති. ලෝකයේ කිසිවෙක් මේ මානව හිමිකම් උල්ලංඝනය ගැන බරපතළ හඬක් නොනගති.

කාන්තන්කුඩි පල්ලියේ ඝාතන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ඝාතන ලෝකය කම්පා කරවන සුලු විය. දිඹුලාගල හාමුදුරුවන් සිය පළාතේ දෙමළ ජනතාවට වැඩියෙන් ම උපකාර කළ හිමි නමකි. උන් වහන්සේ ඉතා චතුර ලෙස දෙමළ භාෂාව හසුරවමින් දෙමළ ගම්මානවල සුබ - සාධන කටයුතු ගැන සොයා බැලූහ. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඒ හිමියන් ඝාතනය කරන ලද්දේ කිසිදු වග විභාගයකින් තොරව ය. කුමන ත්‍රස්තවාදියා වුව යාඥා කරන පුද්ගලයාට වෙඩි තබන්නේ නැත. එහෙත් නැඟෙනහිර පළාතේ ඉස්ලාම් සිද්ධස්ථාන ගණනාවකට කඩා වැදුණු ත්‍රස්තවාදීහු යාඥා කරමින් සිටි ඉස්ලාම් භක්තිකයෝ සිය ගණනක් අමු - අමුවේ මරා දැමූහ.

ලෝකයේ දරුණුම හා ම්ලේච්ඡ ම ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ.ය යැයි කියති. ඇතැම් විට ඔවුන්ගේ ඝාතන උපක්‍රමයක් වූයේ මහ රෑ ගම්මානවලට කඩා වැදී මන්නා පිහිවලින් ගැමියන් කපා දැමීම ය. ගැබිනි මව්වරුන්ගේ කුසට කොටා තිබුණේ දරු ගැබද කැපීයන ලෙස ය. ඇතැම් කුඩා දරුවන් උඩ දමා පිහිවල තියුණු තුඩුමතට වැටෙන්නට සලස්වා තිබිණි. කන්තලේ සිංහල ගමකට කඩා වැදුණු ත්‍රස්තයෝ එක් තරුණියකගේ රහසඟ ප්‍රදේශයෙන් කොසු මිටක් යවා ඇය ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළහ.

දුරෙයිඅප්පා ඝාතනයේ සිට නන්දිකඩාල් කළපුවේ අවසානය දක්වා කොටි සංවිධානය විසින් සිදු කරන ලද ඝාතන සමූහය ලෝකයේ දරුණුම මිනිස් ඝාතන ලෙස ඉතිහාසයට එක් වනු ඇත. එබඳු දරුණු ත්‍රස්ත සංවිධානයක් මර්දනය කිරීම වරදක් ද?එය මානව හිමිකම් උල්ලංඝනයක් වන්නේ කෙසේ ද? අපට චෝදනා කරන්නට පෙර අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එම ප්‍රශ්න දෙකට පිළිතුරු දිය යුතුව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා