යකඩ සපත්තුවලින් ලංකාව පාගන්න බෑ

යකඩ සපත්තුවලින් ලංකාව පාගන්න බෑ

බෙංගමුවේ නාලක හිමි
දේශ ප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි දේශ හිතෛෂී හා ජාති මාමක බලවේග නියෝජනය කරන කඳවුරේ ප්‍රමුඛ සෙනෙවියෙකි. ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයෙකුද වන උන් වහන්සේ දේශ ප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් ධුරයද හොබවයි. තවද බෙංගමුවේ නාලක හිමි ජනාධිපති උපදේශක තනතුරකින්ද පිදුම් ලබා ඇත. මේ දිනවල රට හා සමාජය ගිනියම් කර ඇති ජිනීවා සමුළුව ගැන කතා බහ කිරීමට අපි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් හමුවුණෙමු. මේ උන් වහන්සේ සමග දිනමිණ කළ කාලීන සාකච්ඡාවකි.

* මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. ජාති මාමක බලවේග නියෝජනය කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙස රටට එරෙහිව ගෙනෙන මෙකී යෝජනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ ගේ අදහස කුමක්ද?

අප රටට එරෙහි මේ යෝජනාව ගෙන එන බව කියන්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක් කොටි සංවිධානයේ විදෙස් ගත ඩයස්පෝරාව සමග අත්වැල් බැඳ ගෙනයි. ඔවුන්ගේ අරමුණ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් සඳහා උපරිම දඬුවම් ලබාදීමයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් විනාශ කිරීම ගැන විස්සෝපයට පත් ඔය බටහිර බලවේග හා ඩයස්පොරාවට අවශ්‍යව තිබෙන්නේ එහි වාඩුව ගැනීමට ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු යුද නායකයින් විදුලි පුටුවේ හිඳුවා දඬුවම් ලබාදීමටයි.

2009 මැයි 19 වැනිදා වෙනකම් කොටි සංවිධානය මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කළා. දශක ගණනාවක් කොටි නටපු නාඩගම නිසා අහිංසක මිනිසුන් කී දෙනෙකුගේ ජීවිත අහිමි වුණාද? කී දෙනෙක් සදාකාලීක අබ්බගාතයන් වුණාද? ඒත් අමෙරිකාව ඇතුළු ඔය බටහිර බලවේග මිනීමරු කොටි මේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩ කරන තුරු මොනවද කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ අරමුණ බොහොම උතුම් එකක්. ඒත් ඒ අරමුණුවලට පිටුපාලා ස්වාධීන ස්වෛරී රටක් වන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණාවලට මේ ලෙස අනිසි ලෙස මැදිහත්වීම බරපතල වැරැද්දක් බව ඔය ඇමරිකාව ඇතුළු බටහිර බලවේගවල හෘද සාක්ෂිය දන්නවා. ඒ කොහොම වුණත් සැබෑ ලෙසම රටට ජාතියට ආදරය කරන දේශ හිතෛෂී හා ජාති මාමක බලවේග මේ රටේ සිටින තුරු අපේ ජනාධිපති ඇතුළු රණවිරුවන් විදුලි පුටුවේ ඉන්දීමට හෝ දඬු කදේ ගැසීමට අපි නම් ඉඩ තියන්නේ නැහැ.

* ඔබ වහන්සේ එහෙම කිව්වත් ජිනීවා සමුළුවට ගෙනන බව කියන ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවහොත් අප රටට ඉදිරියේදී බෙහෙවින් අනතුරුදායක කාල පරිච්ඡේදයක් උදාවනු ඇති බව පැවසෙනවා... .

මේ වන විට අපට ලැබෙන ආරංචි වලට අනුව නම් අමෙරිකාව ප්‍රමුඛ ඔය කියන බටහිර බලවේගවලට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඔවුන් හිතන පතන විදියට ලේසියෙන් හා පහසුවෙන් සම්මත කර ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මොකද බොහෝ රටවල් දැනටමත් ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ වගේම තමයි පක්ෂ පාට භේද හා ජාති ආගම් භේද නොසලකා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය දිනවල පාරට බැස විරෝධතාවල නිරත වුණා. එයින් අප පෙන්නුම් කර තිබෙනවා අපේ රාජ්‍ය නායකයින් හා යුද නායකයින් බොරු චෝදනාවලට පටලවා දඬුවම් කිරීමට ගන්නා උත්සාහයන්වලට මුළු රටම හා ජාතියම එකහෙළා විරුද්ධ වන බවට. පැහැදිලිවම අපි රටට එරෙහිව ගෙනෙන යෝජනා පරාජයට පත් කිරීම සඳහා දිවි හිමියෙන්ම සටන් වදිනවා.

* අමෙරිකාව අනෙකුත් රටවල මානව හිමිකම් කඩ කිරීම් ගැන ඇඟිල්ල දිගු කලාට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ යහපත් ඉතිහාසයක් නෙවෙයි නේද?

පැහැදිලිවම. අමෙරිකාව අද මුළු ලෝකයේම මානව හිමිකම්වලට තර්ජනයක් එල්ල කර තිබෙනවා. ගල්ෆ් යුද්ධය, ඉරාකයට කළ මැදිහත්වීම, ඒ මැදිහත්වීම නිසා සදාම් හුසේන් ජනාධිපතිවරයාව මරා දැමීම, අද ඉරාකයේ ඇති වී තිබෙන තත්ත්වය, ලිබියාවේ ජනාධිපති ගඩාෆීව මරා දැමීම, ඒ හේතුවෙන් අද ලිබියාවේ ඇතිවී තිබෙන තත්ත්වය, ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය, ඉරානයට හා සිරියාවට කරන අනිසි මැදිහත්වීම්, යන මේ කාරනා සලකා බැලුවොතින් අමෙරිකාව කොයි තරම් දුරට මානව හිමිකම් වලට හා ලෝක සාමයට තර්ජනයක් වී ඇති ද යන්න අවබෝධ කර ගැනීමට පුළුවන්. ලංකාවේ ඇති ස්වභාවික සම්පත් වලටද කෙළ හලන අමෙරිකාවට අද අවශ්‍යය එදා ඉරාකයට ඇෆ්ගනිස්ථානයට ලිබියාවට කළ දේ ලංකාවටද කරමින් තම යකඩ සපත්තුවෙන් ලංකාව පාගා දැමීමටයි.

* එහෙත් බටහිර බලවේග වල උවමනා එපා කම් ඉටු කරන ආණ්ඩු විරෝධි සමහර බලවේග මානව හිමිකම් සමුළුවේදී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවෙන් ලංකාව පැරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ අනෙකුත් යුද නායකයින්වත් විදුලි පුටුවේ හිඳුවා දඬුවම් ලබා දෙන තුරුත් ලංකාවට එරෙහිව සම්බාධක පනවනතුරුත් ආසාවෙන් බලා ඉන්නා බව දේශපාලන විචාරකයින් පවසනවා. මේ ගැන ඔබ වහන්සේ දරන්නේ කිනම් ආකල්පයක්ද?

හැමෝම නෙවෙයි එක්තරා සුළු පිරිසක් බලය ලබා ගැනීමට හා බටහිර රටවලින් තම සාක්කුවට වැටෙන ඩොලර් වලට කෙළ හලමින් ජනාධිපතිතුමාවත් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු යුද නායකයිනුත් විදුලි පුටුවේ ඉන්දවා හෝ දඬු කඳේ ගසා හෝ දඬුවම් දෙන තුරුත් තමන් උපන් තමන් ජීවත්වන රටට ආර්ථික හෝ වෙනයම් සම්බාධක වැටෙන තුරුත් දත් නියවාගෙන බලාගෙන සිටිනවා. ඒක රටටවත් ලෝකයටවත් රහසක් නොවෙයි. ඒත් මේ රටේ සිටින දේශහිතෛෂී හා ජාති මාමක බලවේග නියෝජනය කරන පිරිස ඔය කියන අතළොස්සක් තරම් වන පිරිසට වඩා සංඛ්‍යාත්මකව බෙහෙවින් විශාලයි.

ඒ බලවේග මේ වන විටත් මහා පවුරක් බවට පත් වෙලා ශක්තිමත්ව හා එකමුතුව ජාත්‍යන්තරයෙන් එල්ල වන සියලු කුමන්ත්‍රණ තර්ජන හා බලපෑම් වලට ‘රට වෙනුවෙන් අපි’ කියන තේමාව යටතේ මුහුණදීමටත් එම සියලු කුමන්ත්‍රණ තර්ජන හා බලපෑම් මුලිනුපුටුවා දැමීමටත් තීරණය කර තිබෙනවා. දැන් විතරක් නෙවෙයි කොටි සංවිධානය විනාශ කිරීම සඳහා අපේ රණවිරුවන් සටන්වදින කාලෙදිත් ජාත්‍යන්තර බලවේග උවමනා එපාකම් මත කටයුතු කරන අතළොස්සක් තරම් වන ඔය කියන පිරිස කොටින්ට එරෙහි යුද්ධය පරාද වන තුරු බලා සිටියා.

හමුදාව ආපසු පසුබසින තුරු ඇඟිලි ගැන්නා. ඒත් ඒ තීරණාත්මක අවස්ථාවේදීත් රට වෙනුවෙන් එකුතු වුණු සියලු බලවේග වල එකමුතුව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවත් අපේ රණවිරුවන්වත් ආරක්ෂා කළා. ඔවුන්ට ආශිර්වාද කළා. පැහැදිලිවම එම ආරක්ෂාව හා ආශිර්වාදයත් මිනීමරු කොටි පරාද කර දැමීමට හේතුවක් වු බවත් අවධාරණය කළ යුතුයි.

* හොඳයි බටහිර බලවේග අප රටට එරෙහිව ඉදිරිපත් කරන යෝජනා පසෙක තබමු. වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධව ඔබ වහන්සේගේ සැබෑ හැඟීම කුමක්ද?

ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මුළු රටේම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා නම් ජාති, ආගම්, කුල, මල බේද දේශපාලන බේද නොසලකා ජනාධිපතිතුමා හා රණවිරුවන් ආරක්ෂා කරන බව සඳහන්කරමින් මේ රටේ ජනතාව පාරට බහීද? පෙළපාලි යයිද? උද්ඝෝෂණ කරයිද? එක උදාහරණයක් ගන්න. දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරපු මිනීමරු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමක් නෙවෙයිද?

කොටි කළ කී දෑ නිසා ජීවිත කීයක් විනාශ වුණාද? කී දෙනෙක් සදාකාලික අබ්බගාතයින් වුණාද? රටේ දේපළ හා ධනය කොයි තරම් දුරට විනාශ වුණාද? එදා උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹ හා මුළු රටේම බෝම්බ පිපුරුණා. වෙඩි සද්ද ඇහුණා. මිනිස්සු රැකියාවට ගියෙ තමන්ගෙ දරුවන් ඉස්කෝලෙට ඇරියෙ කොයි තරම් බයකින්ද? යුද්ධයෙන් පසු ගෙවුණු පසුගිය වසර දෙක තුන තුළදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද ජනතාව බයක් සැකක් නැතුව නිදහසේ හුස්ම ගන්නවා.

* මේ තීරණාත්මක අවස්ථාවේ රටේ ජනතාවගේ යුතුකම හා වගකීම කුමක්විය යුතුයි කියා ඔබ වහන්සේ හිතනවාද?

ඕනෑම කෙනෙකුට රාජ ද්‍රෝහියෙක් වෙන්න පුළුවන්. හැබැයි දේශද්‍රෝහියෙක් වෙන්න බෑ.ජනතාව හැම විටම තමන් උපන් රට ගැන හැඟීමකින් කටයුතු කළ යුතුයි. ඒ හැඟීම දේශය වෙනුවෙන් එකමුතු වීමට සටන් වැදීමට අවශ්‍ය ශක්තිය හා පන්නරය ලබා දෙනවා. පැහැදිලිවම මෙය තීරණාත්මක අවස්ථාවක්. රටට එරෙහි බලවේග විවිධ වෙස්ගෙන රට ඇතුළට විත් අපේ එකමුතුකම් බිද දමා රට අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවක් තමයි මේ. ඒ නිසා මුළු මහත් රටේ ජීවත්වන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ රටට ආදරය කිරීමේ හා රට රැක ගැනීමේ තම යුතුකම හා වගකීම මැනවින් අවබෝධ කර ගන්නා ලෙසයි. අපි එකමුතු වී සටන් කළොතින් ලොව ඕනෑම ජගතකු අප රට ඉදිරියේ දණ ගැස්සවිය හැකි බවට මේ රටේ ඉතිහාසයත් සාක්ෂි දරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා