ගොවීන්ට එරෙහි “පිටි කුමන්ත්‍රණයක්”

වී මිල වැඩි කරන්නට උද්ඝෝෂණ කිරීම

ගොවීන්ට එරෙහි “පිටි කුමන්ත්‍රණයක්”

වී මිල වැඩි කරන්නයි කෑ ගසන්නෝ ගොවීන්ගේ සැබෑ හිතවතුන් නොව, තිරිඟුපිටි සමාගම්වල මඩි තරකිරීමට මඟ පාදන්නන් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අවධාරණය කරති.තිරිඟුපිටි සමාගම්වල වරදාන හා වරප්‍රසාදවලට ගිජුව මෙරට ගොවීන්ට හිතවත්කම මවා පෙන්වමින් වී මිල වැඩි කරන්නැයි උසි ගන්වන්නේ, සැබෑ ලෙසට ඒ හරහා බලාපොරොත්තු වන්නේ වැඩිපුර සහල් වෙනුවට ජනතාවට පාන් පිටි කැවීමට යැයිද ඔවුහු පෙන්වා දෙති.

තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් විසින් තිරිඟු පිටි පරිභෝජනය අඩුවීම වැළැක්වීම සඳහා සහල් මිල වැඩි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යන බැව් වාර්තා වේ. මේ සමාගම්වල උපාය මාර්ගය වී ඇත්තේ ගොවීන් නොමඟ යවමින් වී මිල ගණන් ඉහළ දමා සහල් පරිභෝජනය අඩු මට්ටමක තබා ගැනීමයි. සහල් මිල ගණන් ඉහළ ගිය විට වැඩි පිරිසක් තිරිඟුපිටි ආහාරයට ගැනීමෙන් තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම්වල ලාබය උපරිම වේ.

රජය විසින් රුපියල් 350 ක සහන මිලකට ගොවීන්ට පොහොර ලබාදීම නිසා වී කිලෝවක නිෂ්පාදන මිල සෑහෙන පමණ පහළ වැටී ඇත. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ලබාදී ඇති අතර මෙම කටයුත්ත සඳහා වී අලෙවි මණ්ඩලයටද රුපියල් මිලියන 1000 ක් ලබාදී ඇත. 

මීට අමතරව රාජ්‍ය බැංකුවන මහජන බැංකුව හා ලංකා බැංකුවද වී මිලදී ගැනීමේ කටයුතුවලට මුදල් සපයනු ලබන බවද විශ්ලේෂකයෝ අවධාරණය කරති. දිවයිනේ සමස්ත වී නිෂ්පාදනයට විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබාදෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වුවා පමණක් බැවින් මිලදී ගැනීමට නොහැකි තරම් අතිරික්ත වී නිෂ්පාදනයක් තවමත් වෙළෙඳපොළට එකතු වී නොමැති බව කියයි.

වී මිල ඉහළ දැමීම සඳහා රජය පියවර ගත යුතු බවට ඇතැම් පිරිස් කරනු ලබන උද්ඝෝෂණ මහජනතාව නොමඟ යවමින් සිය මඩිය තරකර ගැනීමට කැස කවන කූට ව්‍යාපාරිකයාගේ තවත් එක් සට කපට ප්‍රයෝගයක් මිස වී මිල ඉහළ දැමීමේ සැබෑ ප්‍රායෝගික අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා