පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළට දැඩි විනය නීති

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළට දැඩි විනය නීති

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කුටි අන් අයට විකිණීම හෝ කුලියට දීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ගිවිසුමේ ආකාරයට, එවැනි වෙළෙඳ කුටිවලින් ඉවත් කරන බවද, මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳ කුටි හිමියන් මාසිකව ගෙවිය යුතු මුදල ප්‍රමාද වූ විට ඒ සඳහා දඩ මුදලක් ගෙවිය යුතු බවද, දිගින් දිගටම ගෙවීම් පැහැර හරින්නේ නම් වෙළෙඳුන් ඉවත් කළ යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ලී පෙට්ටි භාවිතා කර මසුන් ඇසුරුම් කිරීම මෙම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ සපුරා තහනම් බවත්, නීතිය වන්නේ සෞඛ්‍යාරක්ෂිත ප්ලාස්ටික් ඇසුරුම් තුළ මසුන් තබා ගැනීම බවත් පෙන්වා දෙන ඇමැති වෛද්‍ය සේනාරත්න මහතා, නීතිය අකුරටම පිළිපැදීම අනිවාර්ය බව පෙන්වා දුන්නේය.

වෙළෙඳපොළ තුළ දුම් වැටි, මත්පැන්, බුලත්විට භාවිතය සහ අසභ්‍ය වචන භාවිතා කරන පුද්ගලයන් වෙතොත් ඔවුන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ භූමියෙහිදීම පොලිසිය හෝ විශේෂ කාර්ය බළකායේ පිරිස් ඊට නීතිය අනුව කටයුතු කරන බවද තවදුරටත් පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් ජනතාවට හිමිවුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළ විනයගරුක ස්ථානයක් ලෙස පවත්වාගෙන යන නිසා අදාළ නීතිරීති උල්ලංඝනය කර තමන් හමුවීමට නොපැමිණෙන්නැයි ඇමැතිවරයා පැවැසීය. පසුගියදා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා