ගෑස්-කිරිපිටි හිතුමතේට වැඩි කරන්න දෙන්න බෑ

ගෑස්-කිරිපිටි හිතුමතේට වැඩි කරන්න දෙන්න බෑ

ගෑස් සහ කිරි පිටි මිල අසාධාරණ ලෙස වැඩි කර සමාගම්වලට අනවශ්‍ය ලෙස ලාභ ඉපයීමට ඉඩ නොදීමට රජය තීරණය කර තිබේ. ඇතැම් කිරිපිටි සමාගම් රුපියල් සියයට එකසිය පනහකටත් වඩා වැඩි වශයෙන් ලාභ උපයන බවට තොරතුරු සොයාගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළේ කිරි පිටි මිල අඩුවූ කිසිම අවස්ථාවක කිසිම කිරි පිටි සමාගමක් කිරි පිටි මිල අඩුකර නොමැත.

විශේෂයෙන් ළදරු කිරි පිටි හරහා සමාගම් අධික ලෙස ලාභ ලබන බවට ඔප්පු වී තිබේ. බොහෝ සමාගම් කිරි පිටි ආනයනය කරන්නේ ඒවායේ මිල අඩුව පවතින අවස්ථාවලදීය. ඔවුන් එම තොග ගබඩා කරගෙන මිල වැඩි කිරීම් ඉල්ලා අධික ලෙස ලාභ ලබති.  ඉපදීමට සිටින දරුවා විකුණමින් ප්‍රචාරක දැන්වීම් සඳහා එම සමාගම් රුපියල් බිලියන ගණන් වියදම් කරති.

මේ නිසා මිල සංශෝධනයට පෙර එම කිරිපිටි සමාගම්වල කිරිපිටි වල මිල තිබෙන තොග ප්‍රමාණයන් ඇතුළු සියලු තොරතුරු ඇතුළත් වාර්තා කැඳවා තිබේ. එහෙත් සමාගම් ගණනාවක් එම තොරතුරු ලබාදීම මග හරිමින් සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කිරිපිටි සඳහා අනිවාර්යයෙන්ම පාලන මිලක් පැනවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මේ සඳහා මුදල් කමිටුව විශේෂ අධ්‍යයනයක යෙදී සිටියි. ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ගණන් සම්බන්ධවද අධ්‍යයනයක යෙදී සිටිති. කිරිපිටි සහ ගෑස් ආනයනය සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කර තිබේ. ල වැඩි නොකිරීම නිසා කිරි පිටි ආනයනය අත්හිටුවන බවට ඇතැම් සමාගම් මහජනතාව දැඩි පීඩාවට පත් කරති. එහෙත් කිරිපිටි මිල අනවශ්‍ය ලෙස වැඩි නොකිරීමට රජය දැඩි ලෙස තීරණය කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා