බිලින්දන් 13 දෙනකු මිය ගියේ බැක්ටීරියා ආසාදනයෙන් නොවේ

මහමෝදර නොමේරූ ළදරු ඒකකයේ දී

බිලින්දන් 13 දෙනකු මිය ගියේ බැක්ටීරියා ආසාදනයෙන් නොවේ

* විශේෂඥ වෛද්‍ය කණ්ඩායම නිගමනය කරයි

මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ දී පසුගියදා මියගිය ළදරුවන් දහතුන්දෙනාම මිය ගොස් ඇත්තේ බැක්ටීරියා ආසාදනයෙන් නොවන බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමේ නිගමනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පවසයි.

බැක්ටීරියා ආසාදනයකින් මිය ගොස් ඇත්තේ ළදරුවන් තිදෙනකු පමණක් බවද, ඉතිරි දසදෙනා උපතේදී ඇතිවූ විවිධ රෝගී තත්ත්ව හේතුවෙන් මියගොස් ඇති බව ද කී ඒ මහතා එම ළදරුවන්ගෙන් සයදෙනකු බෙහෙවින් නොමේරූ තත්ත්වයේ පසුව ඇති බවත්, සිව්දෙනකුගේ බර ග්‍රෑම් දහසකට අඩුව තිබී ඇති බවත් කීවේය.

මෙවැනි ළදරු ඒකකයකට නොයෙකුත් බැක්ටීරියා, විෂබීජ ආදිය ඇතුළුවීම නිරන්තරයෙන් සිදුවන්නක් බවත්, එවැනි අවස්ථාවක සිදු කැරෙන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ළදරුවන් ඉවත් කර එම ස්ථානය විෂබීජනාශක යොදා ශුද්ධ පවිත්‍ර කර නැවත විවෘත කිරීම බවත් ලේකම්වරයා පැවැසීය. මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකය ද ඒ අනුව වසා දමා ශුද්ධ පවිත්‍රකර නැවත විවෘත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතැයිද ලේකම්වරයා කීය.

නොමේරූ ළදරු ඒකකයක් යනු සාමාන්‍ය ළදරු ඒකකයක් නොවන බව ද, එයට ඇතුළත් කරන්නේ උත්පත්තියේදී යම්කිසි ප්‍රශ්නයක් හෝ රෝගාබාධයක් ඇතිවූ නොමේරූ ළදරුවන් පමණක් බව ද කීය.  මෙවැනි ස්ථානයකදී දරුවන් මිය යාම සාමාන්‍යයෙන් සිදුවන්නක් යැයි ද, මහමෝදර සිද්ධිය ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවූයේ මරණ කිහිපයක් එකළඟ සිදුවීම නිසා යැයි ද පැවැසීය.

මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවන් දහතුන්දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධානය කැර තිබූ මේ මාධ්‍ය හමුව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (13) පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා