ජවිපෙ සහ සජිත් පිල රට අවුලන කුමන්ත්‍රණයක

ජවිපෙ සහ සජිත් පිල රට අවුලන කුමන්ත්‍රණයක

බංකොලොත් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල එකට එක්වී ආණ්ඩුවට විරුද්ධව රැල්ලක් සංවිධාන කිරීමේ කුමන්ත්‍රණයක් සැලසුමකට සූදානම් වෙයි.

ගොවි සංවිධාන කිහිපයක සාමාජිකයන් රටපුරා සිටින ජ. වි. පෙ. සාමාජිකයෝ සජිත්ගේ සාමාජිකයන්ද ගෙන්වාගෙන ඔවුන් අද (14) පොළොන්නරුවේදී උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර තිබේ. වී කිලෝවක් සඳහා රුපියල් හතළිහක් ගෙවිය යුතුය යන්න මූලික කරගෙන එම උද්ඝෝෂණය සිදු කළත් ඔවුන් එම උද්ඝෝෂණය හරහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ඡන්ද පදනම කඩා දැමීමටත් පොහොර සහනාධාරය නවත්වා ගැනීමටත් කුමන්ත්‍රණය කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

ජනාධිපතිවරයා බිලියන 40 ක් වැය කර ගොවියාට රුපියල් 350 ට ලබාදෙන පොහොර සහනාධාරය නවතා ගැනීමට කුමන්ත්‍රණය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් පිල පොහොර සඳහා මෙරටට ආධාර සපයන රටවල් වලට ව්‍යාජ තොරතුරු කියා එම සහනාධාර ලබා නොදෙන ලෙසටත් ලියා යවා තිබේ. පොහොර සහනාධාරය නිසා රටේ වී අස්වැන්න වැඩිවී තිබේ. පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගන්නේ රුපියල් විස්සටය. රජය රුපියල් 28 – 30 මිලට වී මිලදී ගනියි.

2005 ජනාධිපතිවරයා බලයට පත්වී වීවලට සහතික මිලක් ලබාදීමට තීරණය කර තිබුණි. සහල්වලටද සහතික මිලක් නියම කර ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. එ. ජා. ප. යෙන් ගොඩ කර විකිණීමට සුදානම් කර තිබූ පුරන් කුඹුරු අක්කර දහස් ගණනක් යළි අස්වද්දා තිබේ. රණසිංහ ප්‍රේමදාස මහතා 1990 – 91 වී අලෙවි මණ්ඩලය ඈවර කළේ සේවකයන් තුන්දහස් පන්සියයක්ද සමගය.

වී අලෙවි මණ්ඩලයට අයත් කෝටි පන්සියයකට වැඩි වටිනාකමකින් යුත් ගොඩනැගිලි හිතවතුන්ට ඇඟලුම් කම්හල් සඳහා ලබාදී තිබේ. ගබඩා තවත් ගොඩනැගිලි හෝටල් නිවාඩු නිකේතන සඳහා ලබාදී ඇත. කුඹුරු ගොඩකර නිවාස තනා තිබේ. ජ. වි. පෙ. සහ එ. ජා. ප. ය අතර භීෂණය පැවති සමයේ හාල් මෝල් වී මෝල් විශාල ප්‍රමාණයක් ජ. වි. පෙ. ය විසින් ගිනි තබා විනාශ කරනු ලැබිණි. ගම්වල සිටි ගොවි සමිති නායකයන් ගණනාවක් ඝාතනය කර තිබේ. අස්වැන්න නෙළීමට තිබූ කුඹුරු පවා ගිනි තබා විනාශ කළහ.

ගොවිතැන සහ වී අලෙවි මණ්ඩලය අතර මෙවැනි අපරාධ සබඳතාවයක් පවත්වාගෙන ගිය එජාපය සහ ජවිපෙ අද එකට එක්ව උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක් බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. වී සඳහා රුපියල් 40 ක් ලබා දුන්නහොත් සහල් මිල රුපියල් 80 – 90 අතර ප්‍රමාණයකට ඉහළ යයි.  එවිට සහල් මිල ඉහළ යැයි ජ.වි.පෙ. සහ එ.ජා.ප. ය උද්ඝෝෂණ කරන බවද කියන අමාත්‍යවරයා රට තුළ ප්‍රශ්නයක් නැතිව තිබියදී මහජනතාව කලබල කිරීමට විටින් විට උත්සාහ කරන්නේ ඉහත කී කුමන්ත්‍රණය දියත් කිරීමට බවද පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා