ගොවීන් සොයා වෑන් රියෙන් ගිය ඇමැති

ගොවීන් සොයා වෑන් රියෙන් ගිය ඇමැති

න්ද කාලයට ජනතාව සමඟ එක දිගට සිටින දේශපාලනඥයා ඡන්දය දිනූ පසු වායු සමීකරණය කළ සීත කාමරයකට සැප වාහනයකට ආරක්ෂාවට කොටුවීම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත් වී තිබුණ යුගය දැන් නිමාවට පත් කර තිබේ.

කුරහන්හේන / වෙල්යායේ නියර / ගමේ අව් රශ්මිය අඩු කරන තුරු වදුල සිසාරා හමන කාෂ්ඨක සුළඟ ඡන්දය දුන් අයට පමණක් නොව ඡන්දය ගත් අයටත් හොඳට හුරු විය යුතුය. පෙජරෝවෙන් / ඉන්ටර්කූලරයෙන් මහ පොළවටත් එතැනින් කාර්යාලයටත් අඩිය තබන මන්ත්‍රීවරයා හා ඇමැතිවරයා ජනතාව අතරට යා යුතුමය. ඒ සඳහා රාජ්‍ය නායකයා රටටම ආදර්ශයක් දී තිබේ. අප මේ පුංචි සිහිපත් කිරීම කළේ කාටවත් ඇනුම් පදයක් දෝෂයක් එල්ල කරන්න නොවේ.

මීට වසර හතළිහකට පමණ පෙර පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ බිරිය තමන් ළඟට ආ ඡන්ද දායකයා දහඩිය ගඳයි කියා ඉවත්ව යාමේ පුවතක් ද අප අසා ඇත. ගොවියාගේ කමතේ බොල් වී සුවඳ කුඹුරේ මඩගඳ / ගොවියා බැත පෙරළන හැටි දැක බලා ගන්නට ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් කැටුව හැම තැනම කරක් ගැසීමේ පුවතක් නැගෙනහිර පළාතෙන් වාර්තා වේ.

ගොවියා ළඟට ඇමැතිවරයා යා යුත්තේ ප්‍රතිවාදීන් එල්ල කරන චෝදනාවලට ගැළපෙන විසඳුම සහ පිළිතුරු සොයා ගැනීමට ය. ප්‍රතිවාදීන් චෝදනා එල්ල කරන්නත් කලින් ගොවියා හමුවූවා නම් පංකාදුය. විපක්ෂයේ චෝදනාව වූයේ ගොවියාට අසාධාරණ මිලකට වී ටික විකුණාගන්නට බැරිව විදින දුක්ඛ දෝමනස්සයන්ය. විසඳුමක් නැති බවය. ඇමැතිවරයා ගොවීන් හමුවිය.

වී ගබඩා හිස් කරන්නට උපදෙස් දුන්නේය. වී මිලදී ගන්නට අවශ්‍ය මුදල් ඕනෑ තරම් භාණ්ඩාගාරයෙන් ගන්නට ජනාධිපති උපදෙස් දී දී තිබේ. අප රට දැන් සහලින් ස්වයංපෝෂිතය. රාජ්‍ය පාලනය ධර්මිෂ්ඨ වූ විට රට ස්වයංපෝෂිත වීම සොබාදහම විසින්ම සලසා දෙන වාසනාවකි. ඇමැතිවරයා මාධ්‍යවේදීන් සමඟ වෑන් රථයක් පදවාගෙන ගොස් ටොන් ලක්ෂයක් පිටරට යැවීමට ද පියවර ගෙන තිබේ.

මුදලාලිලාගෙන් නොව ගොවියාගෙන්ම වී මිලට ගැනීමට උපදෙස් දුන්නේය. වී ප්‍රශ්නය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂය චෝදනා කරන්නට කලින් බලයේ සිටියදී පොහොර සහනාධාරය කපා හැරීම වී අලෙවි මණ්ඩලයේ ගබඩා ගජ මිතුරන්ට විකිණීම ගැන ගොවීන්ගෙන් සමාව ගත යුතුමය. ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට විපක්ෂය මතු කරන්නටත් කලින් විසඳුම් දීම සාර්ථක ඇමැතිවරුන්ගේ කියා පිළිවෙත විය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා