රටේ අභිමානය පාවා දෙන්න අප සූදානම් නෑ

රටේ අභිමානය පාවා දෙන්න අප සූදානම් නෑ

පාඨලී චම්පික රණවක

විදුලිබල හා බලශක්ති ඇමැති

ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන චෝදනාවට රජය මුහුණ දෙන්නේ කෙසේ ද, ඉහළ ගිය ඉන්ධන මිල නිසා ගාස්තු එකතු කළ විදුලිබිල පිළිබඳ හා විදුලිය සංරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි මේ.

* ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනාව සම්බන්ධ ගැටලුව තවමත් විසැඳී නැහැ. මේ පිළිබඳ රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

බටහිර අධිරාජ්‍යවාදීන් සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විදේශ බලවේග මෙවැනි චෝදනාවක් ගෙනෙන පළමු අවස්්ථාව මෙය නොවෙයි. යුද්ධය පැවැති කාලයේදීත් මෙවැනි චෝදනා ගෙන ඒමට ඔවුන් කටයුතු කළා. 2009 වසරේ ජුනි මාසයේ දී පැවැති මානව හිමිකම් කවුන්සිලයටත් මෙවැනි චෝදනාවක් ගෙන ඒමට අධිරාජ්‍යවාදීන් කටයුතු කළා.

2009 දී ඔවුන් අපට චෝදනා කළේ අපේ ආරක්‍ෂක හමුදා ජන ඝාතනය කළා කියලා. සිවිල් ජනතාව මරා දැම්මා කියලා. එයට ඔවුන් ප්‍රධාන සාධකයක් ලෙස ගන්නේ මෙහේ ඉඳලා පීටර් වයිස් විසින් කරන ලද ප්‍රකාශයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලය මෙම චෝදනාව ගෙන ආවා. එහිදී අපට චීනයේ හා රුසියාවේ සහය ලැබිලා එම චෝදනා ප්‍රතික්ෂේප වුණා. මේ යුද අපරාධ චෝදනා නිල විදිහට ගෙනා සෑම එකක්ම අපේ රජය පරාජය කළා.

ඒක නිසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අපට විරුද්ධව කටයුතු කරන්න නොනිල අන්දමින් කටයුතු කළා. මෙයට අමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් හවුල් වුණා. එය දරුස්මාන් කමිටුව ලෙස පත් කළා. එහි අරමුණ වුණේ ශ්‍රී ලංකාවට උපදෙස් දෙන ගමන් මේ රටට යුද අපරාධ චෝදනාව එල්ල කිරීම.

ඒ දරුස්මාන් වාර්තාවෙන් කිව්වා උතුරේ ජනතාව 60,000ක් පමණ ඝාතනය කරලා කියලා. මේ වෙලාවේදී චැනල් ෆෝ නාලිකාව අපට විරුද්ධව විවිධ ප්‍රචාර ගෙන ගියා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් චන්ද්‍රිකා ඡායාරූප මෙම කමිටුවට ඉදිරිපත් කළා. ඒ ඡායාරූප මගින් ආරක්‍ෂක හමුදා කාලතුවක්කු මගින් සිවිල් ගම්මානවලට වෙඩි තැබුවා යැයි කියන්න ඔවුන් උත්සාහ කළා. මේ කරුණු සියල්ල ඔවුන් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවට හා අපේ ආරක්‍ෂක හමුදාවට විරුද්ධවයි. මේ කරුණු අසත්‍යයක් කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව ඔවුන් පැවැති යුද්ධය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. එයට අනුව, සිවිල් ජනතාව ලක්‍ෂ 03 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනිමින් එල්.ටී.ටී.ඊ ය යුද්ධ කර තිබෙනවා. සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ආරක්‍ෂක හමුදාව පහරදීලා නෑ. මොකද අපි සිවිල් ජනතාව ලක්‍ෂ 03ක් බේරා ගත්තා. ඔවුන්ට දකුණේ ජනතාවගේ මුදලින් පහසුකම් ලබා දුන්නා. අනෙක ආරක්‍ෂක අංශවලට තිබුණ සෑම අවියක්ම එල්.ටී.ටී.ඊ යට තිබුණා. ඔවුන්ට ගුවන් යානා නාශක පවා තිබුණා. ජාත්‍යන්තරය තවත් චෝදනාවක් ගෙනාවා එල්.ටී.ටී.ඊ ය ටී. 56 න් වෙඩි තියෙන කොට යුද හමුදාව කාලතුවක්කු වලින් වෙඩි තැබුවා කියලා. අපේ ආරක්‍ෂක හමුදාව සටන් කළේ ජාත්‍යන්තර යුද නීතියට අනුවයි. එල්.ටී.ටී.ඊය තමයි ත්‍රස්තවාදීන් විදිහට සටන් කළේ. මේ කරුණු අපි ජාත්‍යන්තරයට ඔප්පු කරලා තිබෙනවා.

ජන ඝාතනය කළා කියලා ජාත්‍යන්තරය නගන චෝදනාව අසත්‍යක් බවට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උතුරේ කළ සංගණනයේ දී අනාවරණය වෙලා තිබෙනවා. එම සංගණනයේ දී 2009 මුල් භාගයේ උතුරු පළාතේ සිදුවෙලා තිබෙන මරණ ගණන 11,172 යි.

2523 ක් ස්වභාවික මරණයි. ස්වභාවික නොවන මරණ තියෙන්නේ 7934 යි. සියදිවි නසා ගැනීම්, අනතුරු හා යුදමය තත්ත්වයන් මෙයට ඇතුළත් වෙනවා. මේ මරණවලට එල්.ටී.ටී.ඊ සාමාජිකයනුත් ඇතුළත් වෙනවා.

පීටර් වයිස්ලා, දරුස්මාන් වාර්තාව දක්වන කරුණු අසත්‍ය කරුණු බවට අතුරුදහන් වුවන්ගේ දත්තවලිනුත් පැහැදිලි වෙනවා. 2005 ඉඳලා 2009 දක්වා උතුරේ අතුරුදන් වූවන් ගණන 4516 ක් වෙනවා. එයින් 2009 විතරක් 2935 ක් අතුරුදහන් වෙලා තිබෙනවා. මේ අතුරුදහන් වුවන්ගේ නාම ලේඛනයට විදෙස්ගත වූ, එල්.ටී.ටී.ඊ හිතවත්කම් නිසා සැඟව සිටින පිරිස් ඇතුළත් වෙනවා.

2009 යුද කාලයේ දී එල්.ටී.ටී.ඊය විසින් 9878ක් ඝාතනය කර තිබෙනවා. ආරක්‍ෂක හමුදා හා එල්.ටී.ටී.ඊ ය අතර සංසන්දනය කර බැලූ විට කවුද යුද අපරාධ කර තිබෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්.

අපේ රටේ පවතින නීති රාමුවට අනුව ජන ඝාතක සිදු කරලා තිබෙනවා නම් රජය ඔවුන්ට දඬුවම් දෙනවා. රජය දඬුවම් දී තිබෙනවා ඉතිහාසයෙන් අපිට උදාහරණ ගන්න පුළුවන්. 1971 දී මනම්පේරි සිද්ධිය, ත්‍රිකුණාමලය සිසුන් 05 දෙනා ඝාතන සිද්ධිය, සූරිය කන්ද සිද්්ධිය වැනි සිද්ධි උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අපට ජාත්‍යන්තරයේ රටවල් උදව් කරනවා. සැබෑ තත්ත්වය දකින නායකයින් අපට උදව් කරනවා. ඒ මගින් අපිට එල්ල වී තිබෙන චෝදනා ජයගන්න පුළුවන් නමුත් මේ අයුරින් නිල විදිහට ගෙනෙන චෝදනා පැරැදවීමට අපට හැකියාව තිබෙනවා. නමුත් මොවුන් නොනිල විදිහට චෝදනා ගෙනෙමින් ශ්‍රී ලංකාවට වෙළෙඳ සම්බාධක පැනවීමට උත්සාහයක් තිබෙනවා.

ඒක තමයි අද ඉරානයට කරලා තිබෙන්නේ. සිරියාවට කරලා තිබෙන්නේ. ඒ නිසා ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල සැලසුම්වලට ශ්‍රී ලංකාවේ අභිමානය පාවා දෙන්න අප සූදානම් නෑ. ඔවුන්ගේ සියලුම සැලසුම් පරාජය කිරීමට අප කටයුතු කරනවා.

* ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමෙන්, ලංකා පාර්ලිමේන්තුවට අගෞරව කළා කියා විපක්‍ෂය චෝදනා කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ක්‍රියාකාරී සැලැසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී සියලුම ඇමැතිවරු එයට එකඟතාව පළ කළා. මේ පිළිබඳ ජාතික සංවාදයක් ඇති කළ යුතුයි. මේ සැලැස්ම ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම මේ වෙලාවේ වඩා වැදගත් නිසා රජය එය එම කොමිසමට ඉදිරිපත් කළා. එහි සියලු සැලසුම් මේ වනවිටත් මේ රටේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

* මේ දිනවල වැඩියෙන් කතා බහට ලක්වන කරුණක් තමයි ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලිබිල ඉහළ යාම. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

ලංකා විදුලිබල මණ්ඩලය 1995 වෙනකම්ම ජල විදුලියෙන් සමස්ත පාරිභෝගිකයින්ට විදුලිය ලබා දුන්නා. ජල විදුලිය නිපදවීමෙන් සියයට 85ක් පිරිවැය ඉතිරිය කරගත හැකියි. විදුලි පාරිභෝජනය වැඩිවීමත් එක්ක ඉන්ධනවලින් විදුලිය නිපදවීමට පැවැති රජයන් කටයුතු කළා. එමගින් ඉන්ධන ඉහළ යාම විදුලිබිල වැඩිවීමට සාධනීයව බලපානවා. 2010 වසර ඉන්ධන මගින් විදුලිය නිපදවීමට රුපියල් බිලියන 82ක මුදලක් වැය කරලා තිබෙනවා. එය 2012 වසරේ දී රුපියල් බිලියන 163 දක්වා දෙගුණයකින් වැඩිවෙලා තිබෙනවා.

මෙවර ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සියයට 15 සිට සියයට 40 දක්වා ගැලපුම් ගාස්තු අයකර තිබෙනවා. ඉරානයේ වෙළඳ බාධක ඉවත් කරලා ඉන්ධන පෙර පරිදි ලංකාවට ස්ථාවර මිලට පැමිණීමේ දී මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීමට කටයුතු කරනවා.

* ඉන්ධන සහනාධාර ලබාදීමේ දී විදුලිබල අංශයටත් සහනාධාර ලබා දුන්නා. එම වැඩපිළිවෙළ තවමත් ක්‍රියාත්මක වී නැතැයි විපක්‍ෂය චෝදනා කරනවා ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

විදුලිබල ක්ෂේත්‍රයේ සහනාධාර ලබා දුන්නේ විදුලිබල නොමැති නිවාසවලට භූමිතෙල් සහනාධාරයක්. එය දැනටමත් ක්‍රියාත්මකයි. නමුත් ඉන්ධනවලින් විදුලිය නිපදවන විට විදුලියට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදුවෙනවා. ඉන්ධන මේ ලෝකේ තව තියෙන්නේ වසර 40 ක් පමණයි. ඒ නිසා අපි ඒ ගැන ජනතාව දැනුවත් කරන ගමන් විකල්ප බලශක්ති වලට රට සූදානම් කළ යුතුයි. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ අපේ වැඩි අවධානයක් යොමුවෙලා තිබෙනවා.

විශේෂයෙන්ම විදුලිය සංරක්‍ෂණ වැඩපිළිවෙළක් මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා “හෙට වෙනුවෙන් අද” කියා දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. එමගින් සෑම නිවසකම වොට් 60ක වැඩිපුර විදුලි බුබුලක් දිනකට නිවා දැමුවොත් මෙගා වොට් 160ක විදුලි ධාරිතාවක් ඉතිරි කරගත හැකියි. ජනතාව දැනුවත් කරමින් ඉදිරියේ ඇති විදුලිය අර්බුදයට රට සූදානම් කිරීමට අප ශක්තිමත්ව කටයුතු කරනවා.

* මහින්ද චින්තන ප්‍රතිපත්තියේ සඳහන් වෙනවා 2012 වසරේ දී සැමට විදුලිය ලබා දෙනවා කියලා. ඒ වැඩපිළිවෙළ ගැන කතා කළොත්?

මහින්ද චින්තනයට අනුව මේ වසර අවසාන වන විට අපි සැමට විදුලිය ලබාදීමට කටයුතු කරනවා. ගිය වසරේ පමණක් අපි ලක්‍ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබා දුන්නා. තවත් ලක්‍ෂ 03කට ආසන්න පිරිසකට තමයි මේ රටේ විදුලිය නොමැතිව තිබෙන්නේ. ඒ සියලු දෙනාට අප මේ වසර අවසානය වීමට පෙර විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා