නීලා පායා එන්න පෙර සේ

නීලා පායා එන්න පෙර සේ

විශාරද නීලා වික්‍රමසිංහගේ ගායන දිවියට හතළිස් පස් වසරක් පිරීම නිමිත්තෙන් “මාස්ටර් සර්” සංගීත ප්‍රසංගය ලබන 17 දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ප.ව.6.00 ට පැවැත්වේ. ඇයට එහිදී ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද සෝමතිලක ජයමහ, විශාරද සුනිල් එදිරිසිංහ, කමල් අද්දරආරච්චි, අමල් පෙරේරා සහ කපිල හේරත් ගායනයෙන් සහය වේ. ප්‍රසංගයේ නර්තන නිර්මාණය චන්දන වික්‍රමසිංහ රංගායතනය හා ජයන්ත කුමාර කරුණාසේකර රංගායතනය ය.

යෞවනය හා පේ‍්‍රමය කෙතරම් අසිරිමත් අත්දැකීමක් වූවද ඇගේ හඬින් ගැයෙන විරහ ගීතයක් ඇසෙන විට සිතෙන්නේ වඩා ආස්වාදජනක පේ‍්‍රම විප්‍රයෝගය බවය.

සිංහල ගීත සාහිත්‍යයේ ආරම්භයේ සිට ගායක ගායිකාවන් රැසක් විරහ ගීත ගායනා කර තිබේ. ඔවුන් බොහෝ දෙනෙක් විරහව සීමාව ඇත්තේ ශෝකී විලාපයකට පමණය. එයින් සමහර දෙනෙක් ඉන් ඉදිරියට ගොස් පෙම්වතුන්ගේ වියෝව භාව පූර්ණ අත්දැකීමක් බවට පත්කොට ඇත. විරහ ගීතයට සුපුරුදු ශෝකී රසයට අමතරව මධුර මනෝහර බව හා ලාලිත්‍යය කැඳවාගෙන ආවේ නීලාය.

 

“වියෝ ගී ගැයෙනා හදේ

ආදර මල් නොමියේ

සදා මේ සංසාරේ

අපේ හමුවීම නොවේ...”

පේ‍්‍රම වියෝගය නිසා හදවතෙහි නැඟෙන දුක්ඛ සන්තාපය අනෙකාට නොපෙන්වා විඳ දරා ගන්නට පෙම්වත්හු පෙළඹෙති. එලෙස අපේක්ෂාභංගත්වයට පත්වූ තරුණයාට හා තරුණියට භේදයකින් තොරව ඒකාත්මික විය හැකි කටහඬක් ඇයට ඇත.

ඔවුන්ගේ වේදනාව කෝපයකට පත්කර එය ඛේදජනක අවසානයකට රැගෙන යන්නට උඩගෙඩි දෙන අදහස් වර්තමාන විරහ ගීතය තුළ දක්නට ලැබුණත් නීලාගේ ගී එවැන්නකට තරුණ සිත් නොපොළොඹවයි.

 

“බෝධියේ විහාරයේ

පිදූ පියුම් වැනිවූ

බාලිකා මල් මැලවුණ දා

මුළු ලොවටම රෑ වෙනවා “

නීලා වික්‍රමසිංහ ගායනා කළ ගීත අතරින් බටහිර සංගීතයේ එන නාද රටා ආශ්‍රය කරගෙන නිර්මාණය වූ ගී රැසක් ජනප්‍රියව ඇතත් ඇය එක් සම්ප්‍රදායකට අයත් ගායිකාවක ලෙස හෝ විරහව හෝ පේ‍්‍රමය ගැන පමණක් වු ගීත ගායනා කළ ගායිකාවක ලෙස රාමු ගත කළ නොහැක.

දෑතට වළලු, පුංචි සිතේ පුංචි සිනා, සුසැට බරණින් සැරසීලා, නඟේ නඟේ වැහි එනවා වැනි ගීතයන්ට ජන සංගීතයේ ආභාෂය ලැබී ඇති බවක් පෙනේ.

නීලා වික්‍රමසිංහගේ ගායනා හා සංගීත අධ්‍යක්ෂණ දිවියට වසර 45 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රසංගයක් ලබන 17 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. එහිදී ඇය සංගීත දිවියේ එක් වසරක් වෙනුවෙන් එක් ගීතය බැගින් ගීත 45 ක් ගායනා කිරීමට අදහස් කරගෙන සිටියද කාලවේලාව පිළිබඳ ගැටලුව නිසා ගීත 37 පමණක් සීමා කරන්නට සිදුවූ බව අපට දැන ගන්නට ලැබුණි.

තමන් ප්‍රියකරන ගායන ශිල්පිනියකගේ ගීත 37 ක් සජිවීව අසන්නට ලැබීමේ භාග්‍යය පේ‍්‍රක්ෂකයන්ට ලැබී තිබේ. විරාමයකින් තොරව අපමණ ගීත ප්‍රමාණයක් ගායනා කිරීම කවර හෝ ශිල්පිනියකට බැරෑරුම් වගකීමකි. ඇය කැමැත්තෙන්ම රසිකයන් වෙනුවෙන් ඒ එබඳු වගකීමක් පවරාගෙන ඇත.

නීලාගේ ජනප්‍රියව ඇති ගීත දහස් ගණන අතරින් ගීත 37 ක් තෝරා ගැනීම එයටද වඩා දුෂ්කර කටයුත්තකි. ඒ කාර්යයට ඇයට උදව් කළෝ කවුරුන්දැයි අප විමසා සිටි විට නීලා දුන්නේ අපූර්ව පිළිතුරකි.

“මෙතෙක් කලක් රසිකයන් අතර සිටි ගායිකාවක් හැටියට ඔවුන් වඩාත් ප්‍රියකරන ගීත පිළිබඳ වැටහීමක් මට තිබෙනවා. ඒ නිසා ජනතාව ප්‍රියකරන ගීත මොනවා දැයි විමසන්නට මට වෙනත් පිරිසකගේ සහය වුවමනා නැහැ”.

නීලා එදා මෙන්ම අද ද ගීතවත්ය. එලෙසම අදීනය. ඇගේ කටහඬ උච්ච ස්වරයකට ගමන් කරන්නේ නීලා ද ඇය අයත් පරම්පරාව 70’ දශකයේ කලාකරුවන් යන පොදු වහරකට ලඝු කළ විටය.

“මේ තත්ත්වය මට විතරක් සිදුවෙලා තිබෙන දෙයක් නෙමෙයි. අද ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් බොහෝ දෙනෙකුට මේ දේ සිදුවෙලා තිබෙනවා. අපි අලුත් නිර්මාණ කළත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. ගීතයක් ප්‍රචාරය කරගන්න නම් මුදල් ගෙවන්න ඕන. අපිට මුදල් ගෙවලා ගීත ජනප්‍රිය කරගන්න වුවමනාවක් නැහැ. අපේ ගීත ප්‍රචාරය නවත්වලා තිබෙන්නේ 70 දශකයේ ගීත කියලයි. හොඳ ගීතයක් එහෙම සීමා කරන්න පුළුවන්ද”

මාර්තු 17 දින පැවැත්වෙන “මාස්ටර් සර්” ප්‍රසංගයේදී ඇය ගායනා කරන ගීත අතරට මාධ්‍ය මඟින් එලෙස විකාශය නොකළ ගීත කිහිපයක් ඇතුළත්ය.

එයින් වඩා ප්‍රමුඛ ගීතයක් ලෙස නෙළුම් මුදලිගේ රචනා කළ “යෞවනය ආයෙමත් ගෙනල්ලා” ගීතය දැක්විය හැක. “මාස්ටර් සර්” ලන්ඩන් ප්‍රසංගය සඳහා නීලා එම ගීතය මුල්වරට ගායනා කළ විට එයට අසීමිත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලැබූ බව ඇය අප හා පවසා සිටියේ නූතන ගීත රචකයන්ගේ දක්ෂතාවයන් අගය කරමිනි.

මෙවර “මාස්ටර් සර්” ප්‍රසංගයේදී ගායනා කෙරෙන මංජුල නැද ගමගේ “සීතාවෝ” සුනෙත් රූපසිංහගේ “මල්වී” ගීතය හා නීලා වික්‍රමසිංහ රචනා කර සංගීතවත් කොට ගායනා කරන ‘වසන්ත වැස්සේ’ එවැනි නව ගීත කිහිපයකි.

නීලා සංගීත අධ්‍යක්ෂණය කළ ගීත සංඛ්‍යාව දෙසිය ගණනකි. එදා මෙන්ම අද ද සංගීත අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය ලැබෙන්නේ අල්ප වශයෙනි. නීලා දකින්නේ එය ක්ෂේත්‍රයේ කිසියම් බාධකයක් නිසා සිදුවන්නක් නොව කාන්තාවන්ගේ නොපිවිසීම නිසා ඇති වී ඇති හිඩැසක් ලෙස ය.

ඇය සංගීත අධ්‍යක්ෂණයට පිවිසි අවස්ථාවේ ශිල්පීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණ බව නීලා සඳහන් කරයි. කැපවීම මෙන්ම ප්‍රතිභාව ද අවශ්‍යය එවැනි ක්ෂේත්‍රයට කාන්තා දායකත්වය වැඩි වැඩියෙන් ලැබීම නිර්මාණයන්ගේ වෙනසකට හේතුවන්නක් ලෙස ඇය දකියි.

දිනෙන් දින වෙනස් වෙන සමාජයට සාපේක්ෂව සංගීතයද වෙනස් විය විය යුතුය යන්න නීලාගේ තිර විශ්වාසයය. ඒ සඳහා නිවැරැදි දේවල් උකහාගත යුතු අතර අනවශ්‍ය දේවල් බැහැර කළ යුතුය. එනමුත් කුමන තත්ත්වයක් යටතේ වූවත් සිංහල භාෂාවේ අනන්‍යතාවයට හානි නොකළ යුතුය යන්න ඇගේ කල්පනාවය. ගීතය සඳහා යොදා ගැනෙන තාක්ෂණික ප්‍රයෝගය වූවද යොදා ගත යුත්තේ මිනිස් කටහෙ¼ඩ් මධුරත්වය ආරක්ෂා කෙරෙන පරිදිය.” ඇගේ අදහස්වල දෙවරක් නොව කිහිපවරක් කල්පනා කළ යුතු කරුණු ඇත.

ගීත සංරක්ෂණය කිරීම හෝ රියැලිටි ටී.වී. වැඩසටහන් සඳහා ජනප්‍රිය ගායකාවන්ගේ ගීත නැවත ගායනා කිරීම ගැන නීලා දක්වන විරෝධය පෙර සඳහන් කළ පරිදිම උච්ච ස්වර ගනී.

ඇය පවසන්නේ වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කොට නවක තරු ජනප්‍රිය වූවත් ඔවුන්ට අනන්‍යතාවයක් නැති බවය. ඔවුන්ට ඇත්තේ හෙවනැල්ලක් පමණය. එක හඬකින් ගී ගයන්නට එක ගායකයෙක් හෝ ගායිකාවක් ප්‍රමාණවත්ය. ජෝතිපාල ජීවමාන කරන්නට උත්සාහ කරන සමහර සෙවනැලි ගායකයන් නිර්මාණ මංකොල්ලකරුවන් ලෙස නීලා හඳුන්වයි.

නීලා ඇගේ නවතම ප්‍රසංගයට සූදානම් වන අවිවේකී මොහොතේ තවදුරටත් ඇය වෙහෙස කරන්නට අප සිත් නොදෙයි. ඉදිරියේ ඇගේ රසිකයන් වෙනුවෙන් කුමක් කරන්නට අපේක්ෂා කරන්නේද යනුවෙන් විමසා සිටි විට ඇය පිළිතුරු දුන්නේ “ද මදර්” සංවිධානය හරහා දුෂ්කර පළාත්වල කුඩා දරුවන්ට හා පිළිසරණ අවශ්‍යය කලාකරුවන්ට පිහිට වන බවයි. රටේ කොතෙකුත් සංවිධාන තිබියදී වෙනම සංවිධානයක් පිහිට වූයේ ඇයි දැයි ඇසූ විට ඇය මෙසේ ප්‍රකාශ කළේය.

“මට යමක් කරන්න අවශ්‍ය නම් මම එය කරනවා. සමාජයෙන් තවදුරටත් දේවල් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මම සමාජයට යමක් දිය යුතු කාලයයි. මම ගායිකාවක් හැටියට පසුගිය කාලයේදී යම් යම් ක්‍රියාකාරකම් හරහා කළෙත් ඒ දෙයයි.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා