අලුත්ගම-කළුතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේදී අතුරු මාර්ග වැහිලා

අලුත්ගම-කළුතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේදී අතුරු මාර්ග වැහිලා

ජනතාවට කඩිනමින් විසැඳුමක් ලබාදෙනවා
-බේරුවල ප්‍රාදේශීය ලේකම්

අලුත්ගම සිට කළුතර දකුණ දක්වා දිවෙන දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක දුම්රිය මාර්ගයට සමාන්තරව තිබූ ජනතාව ගමන් පහසුව සලසා ගත් මාර්ග රැසක් වැසී ගොස් ඇතැයි එම ප්‍රදේශවාසීහු කියති.

මේ නිසා ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අසීරුවට පත්වී සිටිති. ඇතැමුන්ගේ නිවෙස්වලට යාමට තිබූ එකම මාර්ගයද මේ තත්ත්වය මත අහිමිවී ගොස් තිබේ.

පයාගල රෙක්ස් ද සිල්වා මෙසේ කීවේය.

මට ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා. මාගේ ගෙදරට යන්න ක්‍රමයක් නැහැ.

පාර වැහිලා රේල් පාර සංවර්ධනය වෙන්න ඕන. නමුත් අපේ ගෙවල්වලට යන්න පාර යාන්තම් තිබුණාම ඇති. මම ඉල්ලා සිටින්නේ ඉක්මනට පාර හදලා දෙන්න කියලයි.

ඇනී සිල්වා මහත්මිය, අම්බේවත්ත, කුඩා පයාගල,

අපි උපන්දා සිට ආගිය පාර වහලා. අපේ දරුවෝ පාසල් යන්නේ කොහොමද අපට ඉක්මනට පාර හදලා ඕනෑ. අපේ ඉඩම්වලින් දෙන්න කියලා අපට මහ ලොකු ඉඩම් නැහැ ඕනනම් අඩි කිහිපයක් දෙන්න පුළුවන්.

සීතා මාගරට් සිල්වා මහත්මිය,

දුම්රිය නිලධාරින්ට තිබුණා අපට විකල්ප මාර්ගයක් දීලා පාර වහන්න. නමුත් එහෙම කළේ නෑ.

ඩබ්ලිව්. ඩී. සමන්ත,

අපේ ධීවර ව්‍යාපාරයට විශාල පාඩුවක් වුණා මේ පාර වැහුව නිසා රේල් පාර සෑදීම අවශ්‍යයි. ඒත් අපේ ප්‍රශ්නත් විසඳෙන්න ඕනෑ.

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා,

අලුත්ගම, කළුතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට ආරම්භ කිරීමෙන් දුම්රිය මාර්ගයේ තිබූ ඇද කුද නැතිව කෙලින් කරගෙන මාර්ගය එලාගෙන ගියා.

දුම්රිය මාර්ගයට සාමාන්තරව ජනතාව එහා මෙහා ගිය ප්‍රධාන මාර්ග තැනින් තැන වැසී තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. එය ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක්.

බේරුවල ප්‍රාදේශීය ලේකම් ධම්මික රාජපක්ෂ මහතා,

මට දිනකට විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් පැමිණිලි එනවා. පාරවල් නැහැ නිවෙස්වලට යන්න කියලා තිබූ ප්‍රධාන මාර්ග දුම්රිය මාර්ග ඉදිකිරීම නිසා වැසීගියා. නමුත් රටේ සංවර්ධනයත් සිදුවෙන්න ඕනෑ.

ජනතාවට සිදුවී ඇති පීඩාව ඉවත් කිරීමට සුදුසු පරිදි මංමාවත් සකස් කරදීමට සභාපතිටත් කතා කරලා ඉතා කඩිනමින් සුදුසු පියවරක් ගන්නවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා