ෆාමසියක නීති විරෝධී ලෙස ගබඩා කළ ඖෂධ තොගයක්

ෆාමසියක නීති විරෝධී ලෙස ගබඩා කළ ඖෂධ තොගයක්

පෞද්ගලික ඔසු සලක නීති විරෝධී ලෙස අලවිය සඳහා ගබඩාකර තිබූ ඖෂධ විශාල තොගයක් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීහු සමත් වූහ.

මෙතෙක් පෞද්ගලික ඔසු සලක නීති විරෝධී ලෙස මෙම බෙහෙත් වර්ග දෙක ගබඩාකර තිබූ විශාලතම ඖෂධ තොගය බව ඖෂධ අධිකාරිය සඳහන් කරයි.

මාසයකට රුපියල් 24000ක මුදලක් වැය කර භාවිතා කළ පුද්ගලයෙක් විසින් ලබා දෙන ලද ඔත්තුවකට අනුව ඊයේ (15) දින පෙරවරුවේ විළවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම හා එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහත්වරුන් පිරිසක් මෙම වැටලීම කළ අතර, පොලිස් දෙපාර්තමේන්තුව ද ඊට සහාය ලබා දී තිබිනි.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඔසුසැලක් විසින් වෛද්‍ය නිර්දේ්ශ නොමැතිව මෙම ඖෂධ දෙක අලෙවි කරන බවට ඔත්තුව ලබා දුන් පුද්ගලයා පැමිණිලි කර තිබූ අතර, මෙම ඔසුසැල පරීක්ෂා කිරීමේ දී මෙම ඖෂධ අලෙවි කිරීමේ දී පවත්වා ගෙන යා යුතු වෛද්‍ය නිර්දේශ ලේඛනය පවත්වාගෙන ගොස් නැති බව ද අනාවරණය විය.

එමෙන්ම මෙම ඖෂධ නීති විරෝධීව ප්‍රදේශයේ පාසල් දරුවන්ට හා වෙනත් තරුණයින්ට අලෙවි කර තිබේ. වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙම ඖෂධ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

මෙම ඖෂධ වෛද්‍ය නිර්දේ්ශවලින් තොරව භාවිතා කිරීම මගින් විවිධ අතුරු ආබාධවලට ගොදුරු වේ.

මෙම වැටලීමේ දී නීති විරෝධීව ගබඩා කර තිබූ ඖෂධයෙන් බෝතල් 800ක් හා ඖෂධයෙන් පෙති 20,000ක් පමණ සොයා ගනු ලැබූ අතර මෙම ඔසුසැලට එරෙහිව නඩු පැවරීමටත් ඉදිරියේ දී මෙම ඔසුසැලේ බලපත්‍රය තහනම් කිරීමටත් පියවර ගන්නා බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

මෙවැනි නීතිවිරෝධීව කටයුතු කරන ඔසුසැල් හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව ද ඒ මහතා පවසයි.

දැනට විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා