සුද්දො දන්න මනුස්සකම් !

සුද්දො දන්න මනුස්සකම් !

ඇල්ලේ ගුණවංශ හිමි කොළඹ ධර්මායතානාධිපති

* මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර ජාතීන් විවිධ නිර්වචනයන් කරනවා. ශ්‍රී ලාංකිකයන් වන අප මානව හිමිකම් යන්නෙන් නිර්වචනය කරන්නේ කුමක් ද?

මුලින්ම කිවයුතු කාරණය තමයි බටහිර ජාතීන් ඔය කියන මානව හිමිකම්වලට වඩා එහා ගිය උතුම් ගුණ ධර්මවලින් හෙබි ජාතියක් අපේ රටේ ඉන්නෙ. මිනිසුන්ගෙ පමණක් නොවේ සතා සිව්පාවාගේ ඉඳන් සොබා දහමේ පවා හිමිකම රකින ජාතියක් ශ්‍රී ලාංකිකයන් කියන්නෙ.

* ඒ ගැන ඔබ වහන්සේ ට තියෙන උදාහරණ මොනවා ද?

කොටින්ම වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංකල්පයනෙ මුල ඉඳන්ම අපෙ තිබුණෙ. වැවෙන් වතුර ටික අරගෙන කුඹුර වැපිරුවා. කුඹුරෙන් වී ටික ගෙට ගන්න ගමේ මිනිස්සු කයියට ගෙනාවා. කුඹුරෙන් වී ටික ගෙට අරගෙන මුලින්ම දන් ටික පන්සලට පූජා කළා. හැබැයි කුඹුරෙන් කොටසක් ඉතිරි කෙරුවා. කුරුලු පාළුව කියල. සත්තුන්ට කන්න. ගෙදර දොරකඩ වී කරල් මිටියක් එල්ලුවා කුරුල්ලන්ට කන්න. ගෙදර නිදහසේ කුරුල්ලන්ට ඉන්න ගෙයක් හදල දුන්නා. උණු වතුර ටිකක් මහ පොළොවට විසි කරන්නෙ නැති ජාතියක් අපි. වතුර කෝප්පෙ ඉන්න කුරා කූඹියත් අරන් දාන ජාතියක් අපි. එහෙම මිනිස්සුන්ට ද මේ මානව හිමිකම් කැඩුවා කියල ඔය සුද්දො ඇඟිල්ල දික් කරන්නෙ. උන් එන්න ඕනැ අපෙන් මානව හිමිකම් ඉගෙන ගන්න.

* එහෙම නෙවෙයි හාමුදුරුවනේ උතුරු නැගෙනහිර පැවති මානුෂීය මෙහෙයුම අවසානයේ සිදුවීම් අළලා තමයි මේ චෝදනා කරන්නෙ.

ඒ යුද්ධය දිනපු නිසානෙ. අදටත් මේ රටේ බෝම්බ පිපිරෙනවා නම්, මිනිස්සු දහස් ගණනින් මැරෙනවා නම්, ත්‍රස්තවාදී කලබල වෙනවා නම්, කොටින්ම රට අස්ථාවර නම් එතකොට ද ඒගොල්ලන් කියන ඔය මානව හිමිකම් රැකෙන්නෙ. පළවෙනි කාරණය තමයි මේ රටට හරි අයිතිකාරයෙක් නැති එක. අපිට අවුරුදු 2500 කට එහා ගිය ඔප්පුවක් තියෙනවා. ඒත් අපි කාටත් මේ රටේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ බෝඩිං කාරයෝ හැටියට. බටහිර ජාතීන් කියන්නෙ මොකක් ද? ඒ දේ අපිට කරන්න සිද්ධ වෙලයි තියෙන්නෙ.

* ලෝකය දියුණු වෙද්දී රටක් හැටියට අපට තනි වෙන්න බැහැ. ජාත්‍යන්තර සබඳතාවලදී අපිට කොන්දේසිවලට අවනත වෙන්න වෙනවා. ඒ දේ නෙවෙයි ද මේ වෙලා තියෙන්නෙ.

කොන්දේසි නම් ඒක මුළු ලෝකයට පොදු වෙන්න එපායැ. ඒ ගොල්ලන්ගෙ ඉලක්කය වෙලා තියෙන්නෙ මේ ආසියාවේ ඉන්න අපේ පුංචි රටවල් ටික. අර බලන්න මාලදිවයිනට කරපු වින්නැහිය. රටක අභ්‍යන්තර ප්‍රශ්නයකදී සුද්දන්ගෙ අත පෙවීමක් උණා නම් ඒ රට අන්ත විනාශයට පත් වුණා. බටහිර ජාතීන්ට අද ලෝකෙ බොහෝ දේවල් අහිමි වෙලා තියෙන්නෙ මොන දේ තිබුණත් උන්ට සොබාවික සම්පත නැහැ. අපට වන සම්පත තියෙනවා ජල සම්පත තිබෙනවා. ලෝකෙ කොහේවත් නැති අභය භූමි සංකල්පය තියෙන්නෙ අපේ රටේ විතරයි. අභය කියපු ගමන් ඒකෙන් ගම්‍ය වෙන්නෙ ජීවිත දානය දුන්නා කියන එක.

2020 – 30 වෙන කොට ලෝකයේ ජල හිඟයක් ඇති වෙනවා. මෙයට මුහුණ දෙන්න අපට පුළුවන්. ඒත් බටහිර ජාතීන්ට විකල්ප නැහැ. මේ යන්නෙ පෙරහැරේ කස කාරයෝ ටික. වසර 20ක 30 ඉදිරි සැලසුම් තමයි මානව හිමිකම් මුවාවෙන් මේ බටහිර ජාතීන් දැන් සිට ක්‍රියාත්මක කරන්නෙ.

* කොහොම වුණත් ජාත්‍යන්තරය නගන මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම වැනි යෝජනා රජයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ඔබ වහන්සේ දරන මතය මොකක් ද?

ඔය කාගෙ මානව හිමිකම් කඩවීමක් ගැනද ඕවැයින් කතා කරල තියෙන්නෙ? විදේශිකයන්ගෙ බලපෑමට මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිකරලා, ඔවුන් පෝෂණය කරලා. රට උදුරගන්න හදනකොට ඇද ඇද ඉඳල මේක ජනාධිපති මහින්ද රාජපක්ෂ බේරා ගත්තා. අපේ තරුණයෝ කී දාහක් මේකෙන් මැරුණ ද? මම කියන්නෙ දෙමළ සිංහල බේදයක් අරගෙන නෙමේ. දෙමළෙක් මැරුණත් සිංහලයෙක් මැරුණත් ඒ මැරුණෙ අපේ රටේ මිනිහෙක්. මෙන්න මෙතන ඉඳගෙන ඔය ප්‍රශ්නය විසඳන්න තියෙන්නෙ. මුස්ලිම් මිනිස්සු කපල කොටල ඒ ගම් බිම් වලින් එලවලා දැම්මා. අරන්තලාවේ දී හාමුදුරුවරු මැරුවා, ශ්‍රී මහා බෝධියේ ඉදිරිපිට බැතිමත්තු මැරුවා. බස් බෝම්බ වලින් ජනතාව මොන තරම් ඝාතනය කෙරුවද? ඔය සංශෝධන වලින් වත් කොමිෂන් වලින් වත් ඕවා කතා කරලා නැහැ. මටත් කතා කළා ඔය උගත් පාඩම් කොමිසමේ සාක්ෂි දෙන්න. කොමිෂන් ගැන මට විශ්වාසයක් නැහැ මම ගියේ නැහැ.

* ජිනීවා සමුළුවට එරෙහිව රටේම ජනතාව වීදි බැස්සා. ඔබ වහන්සේ නිහඬව සිටියෙ ඇයි?

දේශපාලන මැච් එකේ අද පාපන්දුව වෙලා තියෙන්නෙ ජනතාව. මම ඒ පාපන්දුව වෙන්න කැමති නැහැ. එහෙම වුණා නම් රට වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන්න මට බැරිවෙනවා. ඒකයි මම නිහඬව සිටියෙ.

* මෑතකදී පත් කළ පොලිස් කොමිසමේ සාමාජික හිමිනමක් ඔබ වහන්සේ. කොහොම ද පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය?

පොලිසියට කරන චෝදනා සම්බන්ධයෙන් ජනතාව ගෙන් තොරතුරු විමසීමයි මට තියෙන කාර්ය. නමුත් පොලිස් කොමිසමේ බලතල පෙර තරම් අද පාවිච්චි කරන්න බැහැ.

* රාජ්‍ය නායකයින්, ප්‍රභූන් නිතර යන එන තැනක් මෙතන. එවන් සබඳතා ඇති ඔබ වහන්සේ ටකරං මඩුවක වැනි තැනක මෙවැනි අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ ඇයි?

මට පන්සලක් හදාගන්න බැරිකමක් නැහැ. ඒත් රට හදන එක ඊට වඩා මට වටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා