මුද්‍රණය සඳහා

 
අලුත් ඉරක් දකින්නට පානමට ගිය ගමන

අලුත් ඉරක් දකින්නට පානමට ගිය ගමන

නැගෙනහිර පළාතේ ඓතිහාසික දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති පානම ඓතිහාසික ගම්මානයෙකි. එකල පානම්පත්තුව වශයෙන් ලාහුගල හුලංනුගේ, පොතුවිල්, කෝමාරි, බක්මිටියාව දක්වා හැඳීන්වූවත් පසුව මුස්ලිම් පළාත් වෙන්කර පානම ලාහුගල හුලංනුගේ වෙන ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කළ හ.

ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පැන ආ වීරෝදාර මුතුන් මිත්තන් පිරිසක් වශයෙන් හඳුන්වන පානම ජනතාව වාසය කරන භූමිය නැගෙනහිර මුහුදු තීරයේ ම පිහිටි සුන්දර ගම්මානයකි.

ස්වාභාවික වෘක්ෂලතා හා ස්වභාවික මුහුදු වැලි කඳුවලින් අලංකාර වූ පානම “පත්තිනි”, “කතරගම” , “අලුත්බණ්ඩාර” යන දෙවිවරුන් ගේ විශේෂ ආරක්ෂාව හා අනුග්‍රහය ලබන ගම්මානයකි. පානම ගම්මානය සැබැවින් ම ඓතිහාසික ය. පානමට ඇතුළු වන විට මුලින් ම ඈතට දිස් වන්නේ පානම පන්සලේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ය. ඒ සමඟ ම වෙල්යාය, ගමේ දේවාලය, ගමේ පන්සල , ගමේ පාසැල, ගමේ රෝහල සහ මේ සියල්ල අපූරුවතම නිර්මාණයක් සේ පිහිටා ඇත.

එක් පැත්තකින් කලපුවෙන් ද තවත් පැත්තකින් මුහුදින් ද තවත් පැත්තකින් කතරගම දක්වා දිවෙන රක්ෂිතයට අයත් මහා ගන වනාන්තරයෙන් ද වට වූ පානම ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණි.

ඒ කොළඹ සිට පානම දක්වා දිවෙන මාර්ගයයි. වැසි සමයට පානම අවට සියලුම බිම් යට වන අතර එම කාලයට පානම දූපතක් බඳු ය. එසේ යට වූ අවස්ථාවන්වල ජනතාව තම අවශ්‍යතා සඳහා ගමනාගමන කටයුතු සිදු කරන්නේ බෝට්ටු මගිනි.

නමුත් යුද්ධය නිමා වී සාමය ඇති වීමත් සමඟ මහා මාර්ග ඉදි වීම හේතුවෙන් ගමනාගමන කටයුතු කිසිදු පීඩාවකින් තොරව කරගෙන යාමට දැන් හැකි වී ඇත.

එකල පානම පොතුවිල් මාර්ගය ජලයෙන් යටවීමෙන් රෝගීන් පානම රෝහලේ සිට වෙනත් රෝහල් කරා රැඟෙන යාමට නොහැකි වීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අති විශාල ය.

දුර්ලභ සතුන්ගෙන් සහ ඉතා අලංකාර කඩොලාන පද්ධතියකින් සමන්විත පානම කලපුව පානම තවත් සුන්දරත්වය කරා රැගෙන යයි.

ඕලු, නෙලුම්, මානෙල්වලින් පිරිණු එමෙන් ම විවිධ ඖෂධ වර්ග මෙන් ම පලු, වීර, සියඹලා වැනි වටිනා ශාකාවලින් ගහන වූ එමෙන් ම කිඹුලන්ගේ පාරාදීසය වූ විශාල වැව පානම තවත් අලංකාර කරයි. දිග අඩි 10 - 12 ත් අතර විශාල කිඹුලන් වැව් බැම්ම මතට වී කට අයාගෙන නිදහස බුක්ති විඳීන්නේ පානම මිනිසුන්ගේ ඔවුන්ට අනතුරක් නොවන වග දන්නා නිසා විය හැකි ය.

පොතුවිල් සිට පැමිණ පානම කඩමණ්ඩිය පසුකොට මීටර් 500 ක් පමණ නැගෙනහිර දෙසට යනවිට දිස්වන්නේ පානම මුහුදු වෙරළය. ඉතාමත් පිරිසිදු එමෙන් ම ඉතාමත් අලංකාර මුහුදු වෙරළේ ස්වාභාවිකව ගොඩනැගී ඇති වැලි කඳු අපට වෙන ම සොඳුරු රාජ්‍යයක සිරි සිතේ චිත්‍රණය කරයි.

හිරු උදාව වෙරළට දිස්වන ඉතාමත් අලංකාර දර්ශණයකි. එම මොහොතේ මුහුදේ රළ ද හිරු උදාවට බාධාවක් දෝයි සිතමින් ඉතාමත් සන්සුන් වේ. එම සුන්දරත්වය පානම ජනතාවගේ සිතුම් පැතුම් අවධි කරන්නා සේ ය.

තවමත් සංචාරකයින්ගෙන් අපිරිසිදු නොවූ එමෙන් ම නාගරීකරණය නොවූ ගැමිකම හා බැඳුණු මිත්‍රශීලීකම හා සංග්‍රහශීලීකම උපරිමයෙන් ම පානම ජනතාව තුළ ඇත. ආගන්තුක සත්කාර හා අන්‍යෝන්‍ය බැඳීම් ඇති පානම ජනතාව ගමේ ම උපන් අය වන අතර සුළු පිරිසක් පිට පළාත්වලින් පැමිණ විවාහ වී පදිංචි වී ඇත. නමුත් ඔවුන් පානම ජනතාවගෙන් වෙන්ව හඳුනාගත හැකි ය. බෞද්ධාගමට මුල් තැන දෙන අතර දෙවියන්ද තදින් ම විශ්වාස කරන පානම ජනතාව සුළු පිරිසක් සිටින ද්‍රවිඩ ජනතාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරයි. පානම සිටින්නේ පොහෝ දිනට පන්සල් යන ඉරුදින දහම් පාසැල් යන සිංහල ළමයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ද්‍රවිඩ ජාතිකයන් පිරිසකි.

මීට වසර 65කට පමණ පෙර සිටි අප්පුපිල්ලෙයි නැමැති අයෙකු ඔහුගේ මිතුරන් සමඟ එක් වී පානම වෙනත් බලවේගවලට යට නොවීමට ඉඩ නොදී ආරක්ෂා කරගත් බව පැරන්ණන්ගේ විශ්වාසයයි.

ව්‍යාපාරික කටයුතු සඳහා පානම ජනතාව සමඟ මුස්ලිම් ජනයා දැඩි කුලුපග කමකින් කටයුතු කර ඇත. පානම ගොවීන්ගේ හේන්වලට එන මුස්ලිම් ව්‍යාපාරිකයන් ගොවීන්ට දුම්කොල සහ ඤානිස්සර ආදිය ලබා දී ගොවීන්ගේ බඩ ඉරිඟු, රටකජු, මිරිස්, බණ්ඩක්කා වැනි ආහාර ද්‍රව්‍ය රැගෙන යයි. තම සියලු අවශ්‍යතා තමා විසින් ම සපයාගත් පානම වැසියන් පිටතින් ලබා ගන්නා ලද්දේ දුම්කොළ සහ හුණු පමණි. පානම සිට කුමන පාරේ කි.මී. 6 ක් පමණ යනවිට හමුවන පානකල කලපුව එකල ස්වාභාවික ලුණු ලේවායකි. පානමට අවශ්‍ය ප්‍රමාණයට වඩා එහි ලුණු තිබූ අතර පානම ජනතාව පරිභෝජනය කළේ එම ලුණු ය.

තම ගෙවත්තේ පොල් ගස්වලින් වැටෙන පොල් අතු තමන් විසින් ම වියා ගනිමින් තම වහලයට බැඳගත් ඔවුහු ඔවුන් විසින් ම තනාගත් කටුමැටි ගෙයක,අංග සම්පූර්ණ පවුල් ජීවිත ගත කළහ. පානම ජනතාව ගේ ජීවනෝපායන් බවට පත් කර ගත්තේ වී ගොවිතැන, හේන් ගොවිතැන, මීපැණි එකතු කර ගැනීම, පලු වීර කැඩීම, දිවුල් ඇහිඳීම හා ඕලු නෙලුම් කැඩීම වැනි දේ ය. තමන් විසින් වැවෙන් කඩා ගන්නා ඕලු ගෙඩි තම්බා වේලා ඇට බවට පත් කර ගන්නා ඔවුන් එම ඕලු ඇටවලට සහල් සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර බතක් පිස ගනී. එය ඕලු බත නම් වේ.

එය අනුභව කිරීමට එළවලුවක් වශයෙන් සහල් සෝදන ලද වතුර සමඟ “කර කොල” නැමැති කොළ වර්ගය කිරි හොද්දක් සාදා ගත් ඔවුන් සතුටින් එය භුක්ති විඳී. නැතහොත් වැවෙන් අල්ලා ගන්නා ලද මාළුවලට,පොල් වෙනුවට අමු දිවුල් හා වතුර මිශ්‍ර කර කිරි හොද්දක් සාදා ගනී. මේ ආහාරය වත්මනෙහි ද මෙහි සුලබව දක්නට ඇත.

පානමට ආවේනික වූ සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර හා භාෂාව මෙන් ම ගති පැවතුම් ද ඇත. පානම ඉතිහාසය ගැන අදහස් දැක් වූ පානම ගමේ ආදී වැසියෙක් වූ කුරුවිට බණ්ඩාරගේ කිරි බණ්ඩා මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“දැනට පානම ගමට අවු: 400 ක් පමණ වෙනවා. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පැන ආ පිරිසක් මුලින් ම මදගම, මීයන්ගොඩ , හැලව, රදැල්ල ආදී ප්‍රදේශවල පදිංචි වී සිටියත් එම ප්‍රදේශවල පසුගිය කාලයේ ඇති වූ විවිධ දුෂ්කරතා නිසා ඔවුන් එම බිම් අතහැර පානම පදිංචි වුණා. මුලින් ම පානම පදිංචි වී ඇත්තේ පවුල් 100ක් පමණි. “

ජනප්‍රවාදයේ එන තවත් අදහසක් වන්නේ “මුලින් ම ජනාවාස වී තිබුණේ මාගම්පුර ප්‍රදේශය බවයි. එම ප්‍රදේශයට ඇති වූ දරුණු නියඟය නිසා ආහාර පාන සපයා ගැනීමට නොහැකි වූ හෙයින් එහි සිටි ජනතාව කොටසක් හුඹස් මැටි ද තවත් කොටසක් කොළ වර්ගද ආහාරයට ගෙන ඇත. හුඹස් මැටි ආහාරයට ගත් අය මියගිය අතර, කොළ වර්ග ආහාරයට ගත් අය ජීවිත රැකගෙන ඇත. එම ජීවිත රැකගත් පිරිස පසුව පානමට ස්ථීර පදිංචිය සඳහා පැමිණි බව පැවැසේ.

එදා තම හේනේ බඩ ඉරිඟු , රට කජු, මුං, කවුපි, තල, කුරක්කන් ආදි ධාන්‍ය වර්ග මෙන් ම වට්ටක්කා, තක්කාලි , වම්බටු , මිරිස්, රතුලූනු ඉතා ම සාර්ථකව වගා කළ අතර දුම්කොළ ද පසුව සුළු වශයෙන් වගා කළහ.

ගොවිතැනට ඉතාම දක්ෂ පානම ගොවියා තමන්ට අවශ්‍ය සියලු දෑ තම ප්‍රදේශයෙන්ම සොයා ගැනීමට දක්ෂ විය. එකල පානම ස්වයංපෝෂිත ගම්මානයක් බවට පත්ව තිබූ බව ජනවහරේ කියැවේ.

හේන් ගොවිතැන් කරන ගොවීන් මුලු පවුල ම හේනට ගොස් හවස අඳුර වැටෙන විට නිවසට එන්නේ තමන්ට අවශ්‍ය දර ටිකක්, රෑ කෑමට හේනෙන් සොයාගත් ආහාර ටිකක් ද රැගෙන ය. වත්මනහි ද හේන්වල සිට පා පැදිවලින්, ගොන් බැඳ කරත්තවලින් හා පා ගමනින් ගොවීන් නිවස් කරා එන සුන්දර දසුන් අදට ද දැකිය හැකි ය.

නියම සිංහල ජනතාවක් පානම පදිංචි වී සිටි නමුත් ඔවුන්ගේ පරිපාලන දිස්ත්‍රික්කය මඩකලපුව වූ හෙයින් පරිපාලන කටයුතු සියල්ල සිදුවුණේ මඩකලපු කච්චේරියෙනි. එහි සේවය කළ සියලු නිලධාරින් ද්‍රවිඩ හා මුස්ලිම් වූ නිසාත් ඔවුන් ද්‍රවිඩ බස පමණක් කථා කළ නිසාත් පානම වැඩි දෙනෙක් නිරන්තරයෙන් ම නමින් ද්‍රවිඩයන් බවට පත් විය.

අප්පුපිල්ලේයි නියම සිංහල ජාතිකයෙකු වන නමුත් නමක් තැබීම සඳහා කච්චේරියට ගිය පසු එහි නිලධාරින්ට හුරු නමක් තැබී ය. පානම ජනතාව වැඩි දෙනෙක් ද්‍රවිඩයන් වුණේ ඒ අයුරිනි. උප්පැන්න සහතිකය ලියන්නේ ද ද්‍රවිඩ බසින් නිසා එහි කුමක් සඳහන් වන්නේදැයි ඔවුන් නොදනී. ඊට අමතරව මඩකලපු ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයින් පානම තරුණියන් හා විවාහ වීමෙන් පානම පනහට පනහ ද්‍රවිඩයින් බවට පත් වූහ. නමුත් කිසිදු දිනක පානම ප්‍රදේශයේ සිංහල , දෙමළ ගැටුමක් ඇති වී නැති අතර අදට ද මේ දෙපිරිස පානම ප්‍රදේශයේ සහයෝගයෙන් ජීවත් වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]