ඉදිරියේදී කොටි ඩයස්පෝරාවේ බලය බිඳ වැටෙනවා

ඉදිරියේදී කොටි ඩයස්පෝරාවේ බලය බිඳ වැටෙනවා

ශාන්ත බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රී, දඹදෙණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක

ජිනීවා මානව හිමිකම් ගැටලුව හා ඒ ආශ්‍රිතව ගොඩ නැඟී ඇති දේශපාලන තත්ත්වය ඇතුළු කාලීන සමාජයීය හා දේශපාලන ගැටලු රැසක් පිළිබඳ ශ්‍රීලනිපයේ ඉදිරිපෙළ තරුණ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

* ශ්‍රී ලංකාව වෙත එල්ල වී ඇති ජාත්‍යන්තර පීඩනය පිළිබඳ තරුණ දේශපාලනඥයකු ලෙස ඔබේ මතය කුමක්ද?

මේ තත්ත්වය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. දිගු කලක සිටම යටත්විජිතවාදී රටවල් මෙරටට විශාල පීඩනයක් ඇති කිරීමට සැලසුම් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද මෙරටට එරෙහිව මේ කුමන්ත්‍රණකාරී පවිටු බලවේග පෙරට ඇවිත් තිබෙන්නේ. ඇතැම් ජාත්‍යන්තර සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානත් උත්සාහ කරන්නෙත් මේ තත්ත්වයේදී ශ්‍රී ලංකාවේ ගෙල සිරකිරීමටයි. දෙමළ ඩයස්පෝරාවේ සැලසුම වෙලා තිබෙන්නේ කුමක් හෝ ජාත්‍යන්තර නීතියක් බලගන්වා ජනාධිපතිතුමා ඇතුළු ඔවුන්ට නම්මා ගත නොහැකි බලවේග කොටු කිරීමයි.

එහෙම නැතිනම් රට තුළ විශාල අරාජිකත්වයක් ගොඩනැඟීමයි. කොටි සංවිධානයේ ඉතුරු කොටසට ජනාධිපතිතුමා පිළිබඳ මහා කේන්තියක් වෛරයක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ මොන විදිහට හෝ ජනාධිපතිතුමා ඇතුළු පිරිස සිර කිරීමයි. ඒ වගේම ආර්ථික වශයෙන් මෙරට සිර කිරීමත් එම කුමන්ත්‍රණයේම තවත් එක් පියවරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයට මූලික වෙලා තිබෙන්නේ අන්කිසිවක් නොවෙයි.

කොටියා බෙල්ලෙන්ම අල්ලා ගත්තේ ජනාධිපතිතුමා වීම. මීට පෙර බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන ජනාධිපතිවරුන් මේ ප්‍රශ්නය විසැඳීමට උත්සාහ කළා. එහෙත් ඔවුන්ට හැකි වුණේ ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලා ගැනීමට පමණයි. එහෙත් ජනාධිපතිතුමාට පුළුවන් වුණා කොටි සංවිධානයේ බෙල්ලෙන්ම අල්ලා ගැනීමට. ඒ නිසා තමයි කොටි හිතවාදී බලවේග ජනාධිපතිතුමාට වෛර කරන්නේ. මේ නිසා අපි සියලු දෙනා දේශපාලන භේද ජාති භේද ආගම් භේද අතහැර එක්විය යුතුයි. දැන් එළැඹ තිබෙන්නේ ඒ මොහොතයි.

* එහෙත් විපක්ෂයේ ඇතැමුන් කියනවා ජිනීවා යෝජනාවට එරෙහිව රටේ ගොඩනැගෙන විරෝධය කෘත්‍රිම මවා පෑමක් බව?

ඒක බොරු මතයක් වගේම ද්වේශය මුල්කරගත් උත්සාහයක් පමණයි. ඒ හැර ඔවුන්ගේ මේ මතවාදවල වෙනත් කිසිදු දෙයක් නැහැ. ඒ විදිහේ බොරු මවාපෑමක් නම් ස්වේච්ඡාවෙන් මෙතරම් පිරිසක් මේ විරෝධතා ව්‍යාපාරයට එකතු වෙන්නේ නැහැ. මේ මහා ජනතා බලවේගය මේ විදිහට පෙළ ගැසුනේ කිසිවකුගේ බලපෑම හෝ ඉල්ලීමට නොවෙයි ස්වේච්ඡාවෙන්මයි. ජනතාව අතර විශාල උනන්දුවක් තිබෙනවා මේ විරෝධතා සඳහා එක්වීමට. මා මේ කරුණ කියන්නේ අතිශයෝක්තියකින් නෙවෙයි පසු ගිය දිනවල මා ලැබූ අත්දැකීම් මුල්කරගෙනයි.

පසුගිය සතියේදී කෙටි දැනුම්දීමකින් විශාල පිරිසක් රැස්වුණා විරෝධය පළ කිරීමට. එම විරෝධයේදී අපට සමහර කණ්ඩායම්වලට දැනුම් දීමට බැරිවුණා. ඔවුන් අද පවා දුරකථනයෙන් විමසනවා දොස් කියනවා ඔවුන්ට විරෝධය සඳහා ඇරියුම් නොකිරීම ගැන. මේ කාරණයෙන් වුණත් තහවුරු කර පෙන්වන්න පුළුවන් ජනතා උනන්දුව හා පෙළගැසීම කොතරම්ද කියලා. මේ විරෝධයට එකතුª වුණේ සන්ධාන පාක්ෂිකයන් පමණක් නොව එජාප ජවිපෙ ඇතුළු විපක්ෂයේ පිරිස්ද සහභාගි වුණා. ඒ නිසා ඉහත කරුණු පිළිබඳ විපක්ෂය නඟන කිසිදු චෝදනාවකට පදනමක් නැහැ.

* එජාපයේ තවත් තර්කයක් වී ඇත්තේ එජාප රජය තිබූ 2001 – 2004 කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට අස්සන් නොකළ නිසා මෙරටට යුද අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බවයි. මේ තර්කය කෙතරම් දුරට යථාර්ථවාදීද?

මේ කතාව ඉතාමත් බොළඳ තර්කයක් වගේම පදනමක් නැති කතාවක්. මේ අය හිතාගෙන ඇති ජනතාවට අතීතය අමතක වීමේ රෝගයක් වැළදී ඇතැයි කියා. 2001 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් වු බව ඇත්ත එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ බලැති ජනාධිපති ධුරයක් හෝ විධායක බලයක් ලැබුණේ නැහැ. ඔහුට ලැබුණේ සීමිත බලයක් සහිත අගමැති ධුරය පමණයි. මේ සීමිත බලය තුළ ඔහුට ජාත්‍යන්තර සම්මුතින්ට එළැඹීමට අවස්ථාවක් තිබුණේ නැහැ වගේම ඔහුට ඒ ගැන බලයක් තිබුණොත් නැහැ. එහෙම තියෙද්දි තමයි එජාපය ජනතාව මුලාකිරීමට මේ විදිහේ බොරු කතා කියන්නේ. එදා ජනාධිපතිධුරය දැරුවේ චන්ද්‍රිකා මැතිනිය. ඇයට තමයි රෝම ගිවිසුම අස්සන් කිරීමේ හෝ නොකිරීමේ බලතල පැවරී තිබුණේ. ඒ නිසා එජාපයේ මේ කතාවේ පදනම සම්පුර්ණයෙන් බිඳ වැටෙනවා.

* ජාත්‍යන්තරයේ සිදුවන කොටි හිතවාදී උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට කොතෙක් දුරට බලපානවාද?

කොටි සංවිධානයට හිතවත් කණ්ඩායම්වල ශක්තිය කොතරම්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන් සහභාගි වූ අතලොස්සෙන්. අඩු ජන සහභාගිත්වයෙන් තේරෙනවා ඩයස්පෝරාවට අද ඇත්තේ කෙතරම් අඩු සහභාගිත්වයක්ද කියලා. දිනෙන් දින කොටි හිතවාදී ඩයස්පෝරාවේ බලය අහිමි වෙමින් තිබෙනවා. ඉදිරියේදී කොටි ඩයස්පෝරාවේ බලය සම්පූර්ණයෙන්ම අහිමි වීම වැළැක්වීමට කාටවත් බැහැ. ඒ නිසා තමයි ඔවුන් අද මේ විදිහේ කාර්යයන් වෙත යොමුව තිබෙන්නේ.

* රටේ ජාතික ගැටලුව ගැන මතුව එන තවත් තර්කයක් වී ඇත්තේ යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශවලට අවශ්‍ය සහන සහ සංවර්ධනය නිසි විදිහට නොලැබුණ බවයි. මේ තර්කය ගැන ඔබේ අදහස මොන වගේද?

බිඳ වැටුණ උතුරට අවශ්‍ය කරන සංවර්ධනය හා අවශ්‍ය ව්‍යාපෘති රාශියක් ලබාදී තිබෙනවා. අවතැන් වු ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් අතිබහුතරයක් මේ වනවිට යළිත් පදිංචි කර තිබෙනවා. ඔවුන්ව නිකම්ම පදිංචි කළා නොවෙයි අවශ්‍ය කරන පහසුකම් ලබාදී තමයි එම ස්ථානවල පදිංචි කළේ. විශාල සිවිල් යුද්ධයකින් පසු රටකට යථා තත්ත්වයට පත්වීමට විශාල කාලයක් යනවා. ඒත් අපේ රටට අවුරුදු දෙකක් ඇතුළත එම ප්‍රදේශ බොහෝ සෙයින් යථා තත්ත්වයට පත් කිරීමට පුළුවන් වුණා. එය අප ලැබූ ජයග්‍රහණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා රටේ ජාතික සමඟිය තහවුරු වෙමින් ඇති මේ කාලයේදී සියලුදෙනා කළ යුත්තේ ඒ කටයුත්තට සහාය දීම මිසක් එය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම නොවෙයි. එහෙත් අද දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස්, දෙමළ සන්ධානය වගේ පක්ෂ කරන්නේ විපතට පත්ව සිට යළිත් නැඟී සිටින දෙමළ ජනතාවට අවශ්‍ය උදව් උපකාර කිරීම නොවෙයි. ඔවුන්ට ලැබෙන උපකාරත් කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමයි.

* ජිනීවා පෙන්වමින් රටේ සැබෑ ප්‍රශ්න හා උද්ධමනය යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කරනවා. මේ ගැන ඔබේ මතය මොන වගේද?

ආණ්ඩුවට ඒ විදිහට ප්‍රශ්න යටගහන්න ඕනෑකමක් නැහැ. ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් මෙරටට එරෙහිව යෝජනාවක්. බැරිවෙලාවත් සම්මත වුණොත් එහි ප්‍රතිඵලය ලැබෙන්නේ මුළු රටටමයි. එහෙම නැතිව ආණ්ඩු පක්ෂයට විතරක් නොවෙයි. අද රට මුහුණ දී තිබෙන්නේ තීරණාත්මක මංසන්ධියකට.  ඒ නිසා අප මේ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. පෙරට පැමිණිය යුතුයි. ආණ්ඩුව මේ යුග අවශ්‍යතාව හා ජාතික යුතුකම ඉතාමත් හොඳින් තේරුම් ගෙන ඉන්නේ. ඒ නිසා අප රාජ්‍යතාන්ත්‍රික ලෙස මේ ප්‍රශ්නයට මැදහත්ව සිටින්නේ. එතැනදි තමයි විපක්ෂය මේ විදිහේ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ. මගේ මතය අනුව මේ අවස්ථාවේදී ජාතික වශයෙන් වැදගත්කමක් ඇත්තේ භූමිතෙල්, ඩීසල් පෙට්රල් නොවෙයි. ඒ නිසා තමයි රජය ප්‍රමුඛ කාරණය වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ. අපට මේ කරුණ නිරාකරණය කරගත් පසු පුළුවන් ඉතිරි ප්‍රශ්නවලට විසැඳුමක් සොයා ගැනීමට.

* ඔබ කියන්නේ ජීවන බර ඉහළ යාම උද්ධමනය වැනි දේවල් ද්විතිය කාරණා කියලද?

මාත් මේ සමාජයේම කොටස්කාරයෙක්. පිටස්තරයෙක් නොවෙයි. ඒ නිසා මටත් මේ හැමදෙයක්ම දැනෙනවා. මා දකින විදිහට ආණ්ඩුව මේ වනවිට විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා පමණක් නොවෙයි ජනතාවගේ පැත්තෙනුත් බලා කටයුතු කර තිබෙනවා. ඒ නිසා තමයි සහනාධාර ලබාදීම්, සමෘද්ධිය ලබාදිම ඇතුළු සියලු පාර්ශ්ව දෙස බලන්නේ අපට ගොවියා දිහා බලන්නත් ඕනෑ. පාරිභෝගිකයා දිහා බලන්නත් ඕනෑ සමබර විදිහට තමයි කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා