ජල සම්පතට ආදේශකයක් නැත !

ලෝක ජල දිනය මාර්තු 22 වැනි දිනට යෙදී තිබිණි.

ජල සම්පතට ආදේශකයක් නැත !

ත්ත්වයන් මෙන්ම ගස් කොළන් පවා පවත්වා ගැනීමට ජලය පහළ වී ඇත්දැයි ඒ ගැන හොඳින් විමසන ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත. පෘථිවියෙන් 70% ට වඩා ජලයෙන් වැසී තිබුණත්, ඝන, ද්‍රව, වායු අවස්ථාවල එක් අවස්ථාවකින් තවත් අවස්ථාවකට මාරුවෙමින් පෘථිවියේ, ඒ මත සහ අවට වායුගෝලයේ ඇති ජලයෙන් මානව පරිභෝජනයට ගත හැකිව පවතින ජල සම්පත මුළු ජල ප්‍රමාණයෙන් 3% ටත් වඩා අඩු ප්‍රමාණයකි.

ගෝලීය කාලගුණ විපර්යාසයන් හේතුවෙන් අභියෝගයට ලක්ව ඇති මේ ජල සම්පත තවදුරටත් කෙරෙන නාස්තිය නිසාද අභියෝගයට ලක්ව පවතී. එසේ අභියෝගයට ලක්ව ඇති ජල සම්පත දූෂණයට ලක්වීම ද තවමත් පාලනය කරගත නොහැකි වී තිබීම අභාග්‍යයකි. නාස්තිය සහ දූෂණය පිටු දකිමින් ජල සම්පත රැකගෙන ගෝලීය කාලගුණ විපර්යාස නිසා මුහුණ දීමට සිදුවන අභියෝගවලට ඔරොත්තු දීමට හැකි ජන සමාජයක් ඇතිකර ගැනීමෙහිලා සාමුහික ජල කළමනාකරණ ක්‍රියාවලියක් ජාතික මට්ටමින් ඇතිකිරීම අත්‍යාවශ්‍ය දෙයකි.

මෙහිලා ඒ පිළිබඳ වගකීම ඇති ජල සම්පත් මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවල කැප වූ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. ජීවීන් පවතින්නේ ජලය මත බව අප කවුරුත් දන්නා කරුණකි. පෘථිවියේ 70.8% ක්ම ජලයෙන් වැසී පවතින අතර ඝන සැතපුම් මිලියන 326 ක් පමණ වන ජල ප්‍රමාණයක් අපගේ පෘථිවියේ ඒ මත සහ ඒ අවට විවිධ ආකාරයෙන් පවතින බව සොයාගෙන ඇත.

සාගර ජලය, උත්තර සහ දක්‍ෂිණ ධ්‍රැව වල මෙන්ම කඳු මුදුන්වල අයිස් තට්ටු ලෙස පවතින ජලය, ඇළදොළ, ගංඟා ආදී වශයෙන් වූ මිරිදිය ජල මූලාශ්‍රවල ඇති ජලය, භූගත ජලය, වායුගෝලයේ පවතින ජල වාෂ්ප, ජීවීන්ගේ සහ ශාකවල ඇති ජලය ආදී වශයෙන් වූ විවිධ අවධීන්හි පවතින ජලය එක් අවධියකින් තවත් අවධියකට මාරු වෙමින් ජල චක්‍රයක් නිර්මාණය කර ඇත.

අංක 01 රූප සටහනේ පෙන්වා ඇති පරිදි වූ ජල චක්‍රය අවුරුදු බිලියන ගණනක් තිස්සේ පවතින බව කියැවේ. රූප සටහනෙන් ජල චක්‍රය; පොළොවේ, පොළව මතුපිට සහ වායුගෝලයේ ජලය සැරිසරන අයුරු විස්තර කරයි. බොහෝ විට ජලය ඝන, ද්‍රව සහ වායු අවස්ථාවලට වෙනස් වෙමින් පවතී. ජල චක්‍රය මෙසේ වසර බිලියන ගණනාවක් තිස්සේ පවතින නිසා මිහිමත සියලු ජීවීන් තවමත් සක්‍රීයව ඇත. ජලය කොතරම් තිබුණත් ජල සම්පත ලෙස අපට දැනෙන්නේ මානව පරිභෝජනයට ගත හැකි ආකාරයට පවතින ජලයයි.

රසයක් නැති, වර්ණයක් නැති, පිරිසුදු ජලය රැක ගැනීම එම ජල මූලාශ්‍ර ආරක්‍ෂා කර ගැනීම ඔබේත්, මගේත් අප කාගේත් වගකීමකි. එවන් වූ ජල මූලාශ්‍ර ගැන කතා කරන කල්හි අපේ වාසනාවන්ත රට; ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක පවතී. මධ්‍ය කඳුකරය, සාගරයෙන් වටවූ මේ බිමට අවුරුද්ද පුරාම වැසි ගෙන දෙයි.

මුළු රටම පාහේ ආවරණය කරමින් පිහිටා ඇති ප්‍රධාන ගංඟා 103 ක් සහ තවත් ගංඟා, ඇළදොළ මෙන් 12 වැනි ශත වර්ෂයේදී රට පාලනය කළ වීර පරාක්‍රමබාහු නිරිඳුන් ඇතුළු අප රට පාලනය කළ නායකයන් කරවා ඇති විසිහතර දාහකට අධික වාරි කර්මාන්ත වර්ග කිලෝමීටර් 65,610 ක් වන මේ බිමේ පැවතීම කොතරම් නම් වාසනාවක්ද? ඒ පිං බිමේ උපදින්නට පිං කළ අප මතු උපදින පරම්පරාවට පරිභෝජනය පිණිස ජල මූලාශ්‍ර ආරක්‍ෂා කළ යුතුමය.

ජල සම්පතෙහි කල්පවත්නා භාවයට ඇති ප්‍රධාන අභියෝගය මිනිසාය. අපගේ සෑම ක්‍රියාවක්ම පාහේ ජල සම්පත කෙරෙහි සුබවාදීව හෝ අසුබවාදීව බලපාන්නේ යැයි කීම නිවැරැදිය. 2011 නොවැම්බර් වන විට බිලියන හතක් ලෙස ගණන් කෙරෙන සහ 2050 වන විට බිලියන 9.2 ක් වනු ඇතැයි කියන වැඩිවෙමින් පවතින ලෝක ජනගහනය නිසා අභියෝගයට ලක්ව ඇති ජල සම්පතට ගෝලීය කාලගුණ විපර්යාස නිසා මුහුණ දීමට සිදුවන අභියෝග ද සුළු පටු නොවේ. මානව ක්‍රියාකාරකම්වලම ප්‍රතිඵලයක් වන ගෝලීය කාලගුණ විපර්යාසයන්හි බලපෑම්වලට පෙර මිනිසාගේ ක්‍රියාකාරකම් හි බලපෑම් සලකා බැලීම අවශ්‍ය වේ.

මානව ක්‍රියාකරකම් නිසා ජල සම්පතට ඇති අහිතකර බලපෑම් පහත සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිය.

1. ඉදිකිරීම් නිසා ජල මූලාශ්‍රවල පැවැත්මට තර්ජන එල්ල වීම

2. දූෂණය

3. නාස්තිය

ඉදිකිරීම් කටයුතු නිසා ජල මූලාශ්‍රවලට සිදුවන අහිතකර බලපෑම් ලෙස තෙත්බිම් ගොඩකිරීම, මහාමාර්ග ආදී ඉදිකිරීම් නිසා ස්වභාවික ඇළ මාර්ග වැසී යාම මෙන් ම , වැසි ජලය පොළොවට උරා ගැනීම අවහිර වන සේ ඉදිකෙරෙන, මාර්ග, පදික වේදිකා, රථගාල් ආදී ප්‍රසිද්ධ ස්ථානවල භාවිත කරන කොන්ක්‍රීට් හෝ තාර ඇතිරීම හේතුවෙන් නොගැඹුරු භූගත ජල මූලාශ්‍ර සක්‍රීය වීමට ඇති ඉඩ ඇහිරේ. ගංඟාවල වැලි ගොඩදැමීම ද ජල මූලාශ්‍ර කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. මේ නිසා පායන කාලවලදී භූගත ජල මට්ටම පහළ යාමෙන් නොගැඹුරු ළිංවල වතුර හිඳී යාම සහ ඉවුරුවල පස් කඩා වැටීම සිදුවිය හැකිය. සාගරය ආසන්නයේ වැලි ගොඩදැමීම, ලවණ ජලය කාන්දු වීමට හේතුවක් විය හැකිය.

සමහර ගංඟාවල කිරිමැටි ගොඩදැමීමෙන් ද මෙම තත්ත්වය ඇතිකරයි. ජල සම්පත කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන තවත් මානව ක්‍රියාකාරකමකි වනාන්තර එළිකිරීම. ගස පරිසරයට කරන සේවය අප හොඳින් දනී. වැසි ජලය පොළොවට උරා ගැනීමෙහිලා ශාක මගින් විශාල සේවයක් සිදු වේ. වේගයෙන් පොළොව කරා එන වැහි බිංදුව ගස්වල කොළ, අතු සහ කඳන්වල වැදීමේදී එහි ශක්තිය හානි වී පොළොවට වැටෙයි. මේ නිසා පොළොව ඛාදනය පාලනය වේ.

ජල දූෂණය සහ ජල නාස්තිය ගැන කතා කිරීමේදී මිනිසා ජලය පරිභෝජනය කරන ක්‍රමවේද සලකා බැලීම වටී. ජල විදුලිය නිපදවීම හැරුණු කොට, කෘෂි කර්මාන්තය, නිවාසවල භාවිතය, කර්මාන්ත සඳහා ආදී වශයෙන් වූ ජල අවශ්‍යතා ලබා ගැනීමට අප කවුරුත් උනන්දු වෙයි. නමුත් එකී නොකී සෑම භාවිතයක්ම පාහේ අවසානයේදීම භාවිතයට ගන්නා පිරිසුදු ජලයෙන් අඩකට වඩා කොටසක් බොහෝ විට අපිරිසුදු ජලය ලෙස පරිසරයට මුදා හරී. උදාහරණ ලෙස ගොවිතැනට භාවිත කරන ජලය වැඩි කොටස නැවතත් ජල මූලාශ්‍රයකට ගලා යන්නේ, පමණටත් වඩා වගාවන්ට යෙදූ රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක වැනි දේ නිසා දූෂණයට ලක්වීමෙන් පසුවය.

රූප සටහන

නොයෙකුත් කර්මාන්ත ශාලාවලින්, වාහන සේවා ස්ථානවලින් පවා බැහැර කරන ජලය බොහෝ විට පරිසරයට මුදාහරින්නේ අපවිත්‍ර වූ ස්වභාවයෙනි. අප නිවෙස්වල පවා මෙය දක්නට ඇත. ජල අපවහන පද්ධති ඉදිකර ඇති මහ කොළඹ වැනි නගරවල ජලය එක්රැස් වන ජල ගබඩාවක් හෝ පොම්පාගාරයක් වෙත යන්නෙකුට, එවන් වූ ජලයේ ප්‍රමාණාත්මකභාවය සහ ගුණාත්මක භාවය අවබෝධ කරගත හැකි වනු ඇත.

කාණු පද්ධතිය සකස් කර ඇති බොහොමයක් නගරවල ද, කෙනෙකුට බලන්නවත් නොහිතෙන කාණුවේ ගලා යන්නේ හෝ රැඳී තිබෙන්නේ අප විසින්ම දූෂණය කර පරිසරයට මුදාහරින ජලයයි. පරිහරණයේදී කෙරෙන නාස්තිය, සෑම ආකාරයකම ජල භාවිතයන්හි දක්නට ලැබේ. දිය නෑම, දත් මැදීම මුළුතැන්ගෙයි කටයුතු, වාහනය සේදීම, මල්වලට වතුර දැමීම ආදී වශයෙන් වූ ගෙදර දොරේ කටයුතුවල මෙන් ම, ගොවිතැන සහ අනෙකුත් කර්මාන්තවල ජල නාස්තිය දක්නට ලැබේ.

පරිභෝජනයට ගත හැකි ජල මූලාශ්‍ර ආරක්‍ෂා කර ගැනීමට නම් නාස්තිය අවම කිරීම කෙසේ හෝ කළ යුත්තකි. පරිසර උෂ්ණත්වය ඉහළ යාම, අධි තීව්‍රතාවයෙන් යුතු වැසි ඇතිවීම, වර්ෂාපතන රටාව වෙනස් වීම, මුහුදේ ජල මට්ටම ඉහළ යාම අප රටේ ජල සම්පතට බලපෑ හැකි, ගෝලීය කාලගුණ විපර්යාස නිසා ඇතිවනවා යැයි සැලකෙන කරුණු කීපයකි. මනාව ක්‍රියාකාරකම් සහ ගෝලීය කාලගුණ විපර්යාස වැනි හේතු නිසා ජලය හේතුකරගෙන මිනිස් වර්ගයාට ඇතිවන විපාක ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය, පාරිසරික සහ ආපදා ලෙස වර්ගීකරණය කළ හැක.

රෝගී තත්ත්වයන් අතර කෙටි කාලීන ව්‍යසන මෙන් ම, දීර්ඝ කාලීන, සමහර විටෙක මුළු ජීවිත කාලයේම පීඩා විඳින රෝග වාර්තා වේ. පාරිසරික ගැටලු පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. විශේෂයෙන් දූෂණය වූ ජල මූලාශ්‍ර හේතුවෙන් සිදුවන පාරිසරික ගැටලු අප බොහෝ දෙනෙකුට හුරු පුරුදුය.  ලවණ ජලය මිරිදිය ජල මූලාශ්‍රවලට කාන්දු වීම නිසා ජෛව ප්‍රජාවන්ට පවා බලපෑම් ඇතිකරන පාරිසරික ගැටලු ද කියවා දැන ගැනීමට පහසුකම් බහුලව ඇත.  අධික වැසි නිසා ජල ගැලීම්, නාය යෑම් මෙන්ම අනෙක් අතට කල් පවතින නියඟ නිසා ආපදා තත්ත්වයන් ඇතිවිය හැකිය. සෞඛ්‍ය ගැටලුවක් වුවද විශාල වශයෙන් පැතිර යන විට එය ආපදා තත්ත්වයක් ගනයෙහිලා සැලකේ.

දශක ගණනාවකදී කුඩා වෙනස්කමක් ඇතිකරන, එහෙත් භයානක විපත් ගෙන දෙන ගෝලීය කාලගුණ විපර්යාස පාලනය කිරීම අමාරු කාර්යයකි. අප කළ යුත්තේ එවන් වූ වෙනස්කම් හඳුනාගෙන, ඊට ඔරොත්තු දෙන සේ අනුගත වීමයි.  මානව ක්‍රියාකාරකම් නිසා ජල සම්පතට වන හානිකර බලපෑම් අඩුකර ගැනීමට කටයුතු කිරීම ද බොහෝ විට ඉහත කී අනුගත වීමකි. පරිසරයට අනාරක්‍ෂිත ලෙස අප ජලය මුදා නොහැරීම ජල දූෂණ අවම කිරීමට කළ හැකි දායක වීමයි. ජලය පරිසරයට මුදා හැරීමට පෙර පිරිසුදු කිරීම ඊට සුදුසුම ක්‍රමවේදයකි. එසේ පිරිසුදු කරන ජලය නැවත ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමවේද මේ වන විට බහුලව තිබේ.

නිවෙසේ සේදීමට භාවිත වන ජලය තම ගෙවත්තේ පැළවලට දැමීම ද නැවත භාවිතයකි. කර්මාන්තශාලාවල, නිවාස සංකීර්ණවල අප ජලය එක්රැස් කිරීම, පිරිපහදුව සහ නැවත භාවිතයට ගැනීම කාර්යක්‍ෂමව කළ හැකිය. කෘෂි කර්මාන්තයේදී සිදුවන ජල දූෂණය පිළිබඳ සඳහන් කළ යුතුමය. තේ වතුවලට වල්නාශක ඉසීම, එළවළු වගාවන්ට කෘමිනාශක යෙදීම සිට කල්පිටිය වැනි මුහුදුබඩ ප්‍රදේශවල කරන ගොවිතැන් දක්වාම අප ජල මූලාශ්‍රවලට වස විස එකතු කරයි. එවන් වූ දූෂණ අවම කර ගැනීමට මූලික වශයෙන් දැනුම්වත් කිරීම සහ රසායනික පොහොර, කෘමිනාශක වෙනුවට කාබනික පොහොර, ඝන අපද්‍රව්‍යවලින් නිපදවන පොහොර භාවිතය ආදී වෙනත් ක්‍රමවේද අනුගමනය කරන්නන්ට අනුග්‍රහය දැක්වීම වැනි දේ ජාතික මට්ටමින් සිදුකළ යුතු වන වටිනා ක්‍රමවේදයන්ය.

මෙහිදී ඝන අපද්‍රව්‍යවලින් නිපදවන පොහොර වැනි දේවල ප්‍රමිතිය උසස් කරවීමෙහිලා පර්යේෂණ කිරීම, ක්‍රමවේද හඳුන්වා දීම අතින් ඒ විෂයයන්හි විශේෂඥයන්ට විශාල සේවයක් කළ හැකිය. ජාතික මට්ටමින් කළ යුතු වන සුරැකුම් ඉහත කී නමුත්, කොම්පෝස්ට් බඳුනක් භාවිතය සහ කුඩා හෝ ඉඩ ප්‍රමාණයක ගෙවත්තක් පවත්වා ගැනීම මගින් අපටද අපේ යුතුකම ජල සම්පත රැකගැනීමෙහිලා ඉටු කළ හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා