මුද්‍රණය සඳහා

 
අයුතු බලපෑම් බැහැ: කොටියාට යළි ඉඩ නැහැ

අයුතු බලපෑම් බැහැ: කොටියාට යළි ඉඩ නැහැ

ජිනීවා නුවරදී අප ලද පරාජයට වැඩිපුර සතුටුවන්නේ දෙමළ ඩයස්පෝරාවයි

ජනපති බණ්ඩාරගම දී කියයි

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී අප රට ලද පරාජයෙන් වඩාත් සතුටු වන්නේ අපේ ජනතාව නොව කොටි හිතවාදීන් සහ ඩයස් පෝරාව යැයි හඳුන්වා ගන්නා පිරිස පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.ත්‍රස්තවාදීන් ධජ ඔසවාගෙන කරන දේවල ප්‍රතිඵල විඳින්නට ඔවුන්ටත් සිදුවන බව අපට විරුද්ධව ඡන්දය දුන් රටවලට අමතකව ගිය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ස්වාධීන රටක් වන අප රටට අයුතු බලපෑම් කරන්නට කිසිවකුට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට යළිත් හිස ඔසවන්නට ඉඩ නොතබන බව පැවැසීය. මානව හිමිකම් කවුන්සිලයේ දී අපට පක්ෂව ඡන්දය දුන් සියලු රටවලට ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා අපේ රටේ වැඩපිළිවෙළ අනුමත කරන නමුත් ඡන්දය ප්‍රකාශ නොකළ රටවල් 8 ත් සමඟින් අපගේ පැත්තට රටවල් 23 ක් සිටි බව පෙන්වා දුන්නේ ය.

ජිනීවාවල ඡන්දය පැවැත්වෙන විට උතුරට ගිය ඇතැමුන් ඒ ජනතාවට රජයෙන් කිසිවක් නොකළ බවට කළ ප්‍රකාශ කාගේ වුවමනාවට කළ ඒවා දැයි ප්‍රශ්න කළ ජනාධිපතිතුමා බෙදුම්වාදීන් එදා ආයුධ, ගුවන් යානා මිලට ගත් මුදල් අද යන්නේ කාටදැයි ජනතාව අවබෝධ කර ගත යුතු බව කීවේය.ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ “එක ගමට – එක වැඩක්” ජාතික සංවර්ධන වැඩපිළිවෙළ සමාරම්භක උත්සවයට බණ්ඩාරගම, වෑවිට මෛත්‍රී විද්‍යාලයේ දී ඊයේ (23) එක් වෙමිනි.

එක ගමට – එක වැඩක් සංවර්ධන වැඩපිළිවෙළ ඊයේ උදෑසන 10.16 ට යෙදුණු සුබ මොහොතින් අරඹමින් ජනාධිපතිතුමා වැවිට වැවේ සංවර්ධන කටයුතුවලට මුල පිරුවේය. මීට සමගාමීව වෑවිට මෛත්‍රී විද්‍යාලය ද්විතීය පාසලක් බවට පත් කෙරිණ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික උත්සවයට සමගාමීව රට පුරා ;ම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණ.

ප්‍රජාතන්ත්‍රවාදය සුරකින අප රටේ මානව අයිතීන් ගැන කතා කරන රටවලට ඇෆ්ගනිස්ථානයේ සිදුවන දේ්, ආගමික නායකයන්ගේ සිහිවටනවලට කරන දේ අමතකව ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය. රටක් රජයක් සමඟ නැගී සිටින විට මෙවැනි දේ සිදු වන බව කී ජනාධිපතිවරයා අපට එරෙහිව කළ කී දේ ව්‍යර්ථ වුණේ මේ රටට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස් නිසා බවත් සඳහන් කළේ ය.

එසේම මොනවා වුවත් මේ රට සංවර්ධනය කරන, සාමය තහවුරු කරන වැඩපිළිවෙළ කිසිසේත් නතර නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. තමන් ගේ රට තරගයක පැටලී සිටින අවස්ථාවක රටට විරුද්ධව කටයුතු කළ හැක්කේ කාට දැයි ජනතාව තේරුම් ගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක, ඇමැති බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක පි‍්‍රයන්ත බණ්ඩාර මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]