ජිනීවා කුමන්ත්‍රණයට හවුල් එන්.ජී.ඕ. වැඩ වර්ජන රැල්ලකට අර අඳීනවා

ජිනීවා කුමන්ත්‍රණයට හවුල් එන්.ජී.ඕ. වැඩ වර්ජන රැල්ලකට අර අඳීනවා

-ඇමැති මෛත්‍රිපාල සිරිසේන

මානව හිමිකම් කඩකිරීමේ මුවාවෙන් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් කුමන්ත්‍රණය කරද්දී වැඩවර්ජන රැල්ලක් නිර්මාණය කරමින් රට අවුල් කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මකවී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එම වැඩවර්ජන රැල්ල මෙහෙයවූ ඇතැම් වෘත්තීය සමිතිවලට මෙම රාජ්‍ය නොවන සංවිධාන මුදල් ලබාදී ඇතැයිද ඇමැතිවරයා පවසයි.

ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රුපියල් මිලියන 40ක වියදමින් කොළඹ පශ්චාත් ප්‍රාථමික හෙද අභ්‍යාස විද්‍යාලයේ ඉදිකැරුණු නව ගොඩනැඟිල්ල විවෘත කිරීම නිමිත්තෙන් එම අභ්‍යාස විද්‍යාලයේ ඊයේ (23) පැවැති උත්සවයට සහභාගී වෙමිනි. ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩ වර්ජන රැල්ල ආවේ එකවරමයි. ඇතැම් වෘත්තීය සමිති ඉල්ලීම් සියල්ලම ලබා දුන්නත් වැඩවර්ජනය නතර කළේ නෑ, දිගින් දිගටම පවත්වා ගෙන ගියා.  මේ වැඩවර්ජන මෙහෙයවන්නේ කවුරුන්ද කියා වෘත්තිය සමිති සාමාජිකයන්වත් දැන සිටියේ නෑ. ඒවා මෙහෙයවන්න සල්ලි දුන්නේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්.

මේ අන්දමටම වී මිල ඉහළ නංවන්න කියලා පසුගිය සති දෙකේදී ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා. අහිංසක ගොවියන් මහ මඟට ඇද දැම්මා. මේ උද්ඝෝෂණයට සහභාගී වූ අයගෙන් බහුතරයක් සැබෑ ගොවියන් නොවෙයි. සෙඩෙක් නමැති රාජ්‍ය නොවන සංවිධානය තමයි ගොවියන්ගේ මේ උද්ඝෝෂණය පිටුපස සිටියේ. එම රාජ්‍ය නොවන සංවිධානය සල්ලි දීලා, කෑම දීලා පුද්ගලයන්ව ගොවියන් වගේ මේ උද්ඝෝණවලට යොමු කොට තිබුණා.

ගොවි නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යංශයේදී ඊයේ (23) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.  ඔවුන් කියා සිටියේ අපි කවදාවත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝණය කරන්නේ නෑ කියලයි. තමන්ට ප්‍රශ්න තිබුණත් ඒවා කතා කර විසඳා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන අවබෝධයකින් සිටින නිසා තමන් දන්නා බවත් ඔවුන් පැවසුවා.

වෙනදාට අක්කරයකින් වී බුසල් 40ක් 50ක් ගත්තද, පොහොර සහනාධාරය නිසා දැන් අක්කරයකින් වී බුසල් 120ක් ගන්නා බව මේ ගොවි නියෝජිතයෝ ප්‍රකාශ කළා.  ඒ නිසා මේ කුමන්ත්‍රණය ජනතාව හඳුනාගත යුතුයි. කවුරුන් මොන විදිහේ චෝදනා කළත් නොවැටී ඉන්න පුළුවන් ශක්තිය අවුරුදු 2500ක් පමණ වන අපේ ඉතිහාසය අපට ලබාදී තිබෙනවා. මොන බටහිර බලවේග අපව යටත් කරගන්න ආවත්, කුමන්ත්‍රණය කළත්, ඒ නිසා අපි සැලෙන්නේ නෑ. ඒවාට මුහුණ දෙන්න නම් අපි හැමෝම එකට එක්වී කටයුතු කළ යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා