රටේ සංහිදියාවට ශ්‍රී ලංකාව තරම් කැප වෙන ලොව වෙනත් රටක් නෑ

රටේ සංහිදියාවට ශ්‍රී ලංකාව තරම් කැප වෙන ලොව වෙනත් රටක් නෑ

රුසියාව අවධාරණය කරයි

රටේ සංහිදියාවක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලාංකීය රජය සහ ජනතාව තරම් උනන්දුවෙන් කටයුතු කරන රජයක් හා ජාතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව රුසියාව අවධාරණය කරයි.

දශක තුනක යුද ගැටුම් අවසන් කර සංහිදියාවක් හා ප්‍රතිසංධානයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාවට විදේශීය අත පෙවීම් අනවශ්‍ය බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැඩ්මීර් මිකායිලෝ මහතා අවධාරණය කරයි.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලැබූ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම, ප්‍රතිසංධානය, බිම් බෝම්බ ඉවත් කිරීම නිසි පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් ලෝකයම දන්නා බවද සඳහන් කරයි.

අන්තර් ජාතික සබඳතාවල දී ඕනෑම රටක ස්වෛරීභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව සඳහන් කරන තානාපතිවරයා ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි නොගැසීම රුසියාවේ විදේශ ප්‍රතිපත්තිය බවද පෙන්වා දෙයි.

ලෝකයේ ඕනෑම රටක ස්වාධීනත්වයට බාධා නොවන අයුරින් කටයුතු කිරීමට හැම විටම උත්සාහ ගත් බව සඳහන් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා එවැනි කටයුත්තක් කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී බවට රුපියානු ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා අවධාරණය කර ඇතැයි කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා