රන්දිව් යළි කැඳවයි

එංගලන්තය සමඟ ටෙස්ට් තරගමාලාවට

රන්දිව් යළි කැඳවයි

චාමර සිල්වාට තැනක් නෑ

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ද්විත්ව ටෙස්ට් තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව පිට දඟ පන්දු යවන සුරාජ් රන්දිව් යළි කැඳවා තිබේ. එහෙත් පිතිකරු චාමර සිල්වා කණ්ඩායමට නම් කොට නැත. ලකුණු අතරේ සිටින චාමර සිල්වා කණ්ඩායමට ඇතුළත් නොවීම විමතියට කරුණකි. පසුගිය ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ ලකුණු දහස ඉක්මවූ එකම පිතිකරුවා ඔහු වෙයි.

මීට අමතරව එංගලන්තය සමග පැවැති පෙරහුරු තරග දෙකේදීම සිල්වා ලකුණු අතර සිටියේය. දෙවැනි තරගයේදී ඔහු ලකුණු 163 ක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය දෙසැම්බර් ජනවාරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කෙරුණු රන්දිව් මේ තරගවාරයේ පළමු පෙළ තරග පහකදී කඩුලු 37 ක් ලබා ගනිමින් 14 දෙනාගේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය යළි දිනාගෙන තිබේ.

27 හැවිරිදි රන්දිව් තෝරා ගෙන ඇත්තේ අජන්තා මෙන්ඩිස් වෙනුවටය. මේ අනුව රන්දීව් මේ ටෙස්ට් තරගමාලාවේදී රංගන හේරත් සමග දඟ පන්දු ප්‍රහාරයේ නියැලෙනු ඇත. මේ වන විට රන්දිව් ටෙස්ට් තරග හයකට සහභාගි වී කඩුලු 21 ක් ලබා ගෙන තිබේ. දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ලබන සඳුදා (26) ගාල්ලේදී ආරම්භ වේ. දෙවැනි තරගය අප්‍රේල් 3 සිට 7 දක්වා කොළඹ පී. සරා ඕවල්හිදි පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය

මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවිර, දිනේෂ් චන්දිමාල්, ප්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, චානක වෙලගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා