මුද්‍රණය සඳහා

 
අඹගහවාඩියේ එක්දරු පියාගේ ඝාතනය:

අඹගහවාඩියේ එක්දරු පියාගේ ඝාතනය:

දෙමස්සිනාලා එකිනෙකා මරා දමන්න එකම කොන්ත්‍රාත්කරුවකුට භාර දීලා

බිරියගේ රට සල්ලිවලට නැන්දම්මා මස්සිනා වහ වැටිලා

වර්තමානයේ සිදුවන අපරාධ දින කීපයක් තුළදී එසේත් නැත්නම් සිද්ධිය වී පැය කීපයක් තුළදී අනාවරණය කර ගැනීමට තරම් පොලිස් බලඇණිය ශක්තිමත්ය. දක්ෂය. අපරාධයක් කිසිදා වසන් කළ නොහැකිය යන්න ඔප්පු වී හමාරය. මීට දින කීපයකට පෙර නාත්තන්ඩිය අඹගහවාඩිය මාර්ගයේ සිදුවූ මිනිස් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මීට ආසන්නම එක් උදාහරණයකි.

මෙසේ ඝාතනයට ලක් වුණේ නාත්තන්ඩිය මයිලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අසරප්පුලිගේ රුක්මන්ශාන් නැමැති 40 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු වෘත්තියෙන් ලොතරැයි පත් අලෙවි කරන්නෙකි. රුක්මන්ශාන්ගේ උපන්ගම අනමඩුව ප්‍රදේශයේය. දොළොස් දෙනෙකුගේ පවුලේ අටවැන්නා ඔහුය.

මීට වසර කීපයකට පෙර වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ වෙළඳ සලක රැකියාවක් කිරීම සඳහා ඔහු පැමිණ ටික කාලයක් ගත වු පසු එම ප්‍රදේශයේම දැන හැදිනගත් කාන්තාවක් සමග විවාහ විය. සිය බිරිදගේ මවගෙන් ලැබෙන පර්චස් 10 ක ඉඩමේ නිවසක් තනා ජීවත්වන ඔවුන්ගේ කැදැල්ලට අලුත් සාමාජිකාවක් ද එක් වීය. ටික කලක් ගත විය.

 සැකකරුවන්

පවුලේ ඇතිවූ අගහිඟකම් හේතුවෙන් බිරිය විදේශ රැකියාවකට යෑමට තීරණය කළාය. ඇය ඒ සඳහා පදිංචිව සිටි පර්චස් 10 ඉඩම උගස් කොට ලබාගන්නා මුදල යෙදෙව්වාය. මේ අතර රුක්මන්ශාන් නීති විරෝධී ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට කසිප්පු ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ නිරත විය. පසුව සිය බිරිය එවන මුදලින් විදෙස්ගතවීමට උගස් කළ ඉඩම බේරා සිය නැන්දම්මාගේ නමට ලියා ගැනීමද සිදු විය.

ටික කලක් ගත වෙද්දී නැන්දම්මා විදෙස් රැකියාවේ නිරතව සිටින දියණියට සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවයක් ගැන කියා සිටී. මේ හේතුවෙන් මෙතෙක් කාලයක් රුක්මන්ශාන්ට එවූ මුදල් සිය සොහොයුරාගේ ගිණුමට එවීමට ඇය තීරණය කළාය. මේ හේතුවෙන් රුක්මන්ශාන් හා නැන්දම්මා අතර නිතර නිතර ගැටුම් ඇතිවන්නට පටන් ගනී. ඇතැම් අවස්ථාවල නැන්දම්මාට පහර දෙයි.

නැන්දම්මා විසින් මේ බව සඳහන් කරමින් දංකොටුව පොලිසියට පැමිණිල්ලක් කරනු ලබයි. රුක්මන්ශාන්ට අයිතිය තහවුරු කිරීමට නොහැකි නිසා නැන්දම්මාගෙන් වෙන්වී ජීවත්වන ලෙස පොලිසිය කියා සිටී. පසුව ඔහු දියණිය සිය වැඩිමහල් සොහොයුරියට බාරදෙනු ලබයි. ඔහු ළඟ තිබු ටිපර් රථයක්ද නැන්දම්මා සහ මස්සිනා (බිරිඳගේ සොහොයුරා) විකුණා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පසුව ඔහු දියණිය පාසල් යන වියේ පසුවූ නිසා නාත්තන්ඩිය මයිලෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දුව එම ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලැබීම සඳහා ඇතුලත් කරනු ලබයි. රුක්මන් සිය දියණියට දක්වන්නේ අසීමිත ආදරයකි. මවගෙන් අහිමි වූ ආදරය සෙනෙහස නොඅඩුව ලබාදීමට නොගත් වෙහෙසක් නොමැත. ඇයද සිය පියාට දැක්වූයේ අසීමිත ආදරයෙකි.

දිනක් රුක්මාන් සතුව තිබූ ටිපර් රථයද මස්සිනා හා නැන්දම්මා විකුණා ඇති බව ආරංචි විය. ඔහු ඒ සඳහා ලබාදී ඇති මුදල ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ මුදල ඔවුන් ලබා නොදෙන බව පැවසීය. මේ හේතුවෙන් පසුගිය කාලයේ ඇතිවූ පීඩාවන් නිසා වෛරයක් ඇති විය. විවිධ චෝදනාවන් එල්ල කරමින් සිය බිරිඳගේ සෙනෙහස ආදරය ඔහුටත් දියණියටත් අහිමිකර අසරණ තත්ත්වයට පත් කිරීමත් හේතුවෙන් මස්සිනා සහ නැන්දම්මා ඝාතනය කිරීමට සිතා ගත්තේය.

 අත්අඩංගුවට පත් ආයුධ යතුරු පැදිය

විවිධ අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කලක් බන්ධනාගාරගත වී සිටි බෝලවත්ත ප්‍රදේශයේ පදිංචි ජෝති නැමැත්තෙකු ඔවුන් ඝාතනය කිරීම සදහා සුදුසු පුද්ගලයා වශයෙන් තෝරා ගත්තේය. ජෝති නැමැත්තා රුක්මාල්ගේ මෙන්ම මස්සිනාගේද (බිරිඳගේ සොහොයුරා) යහළුවෙකි. මේ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට රුක්මාන් ඔහු සතු ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය ද විකුණා දමයි.

මේ අතර ඝාතන සැලසුම් සිද්ධිය සම්බන්ධව රුක්මාන්ගේ මස්සිනාට හෙලි කරයි. මස්සිනා රුක්මාන්ව ඝාතනය කිරීමට පෙරළා ජෝතිට බාරදෙයි. මේ සඳහා ජෝති රුපියල් ලක්ෂ දහයක මුදලක් අවශ්‍ය බව කියා සිටි අතර පසුව ඔවුන්ගේ එකඟතාවය මත ලක්ෂ 8 දක්වා අඩු වෙයි.

ජෝති ලක්ෂ දෙකක අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටි අතර මස්සිනා ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඔහු අත තබා ඉතුරු මුදල් පසුව දෙන බව පවසයි. මුදල් ලබා ගත් ජෝති ඝාතන සැලසුම ක්‍රියාත්මක කරයි. ජෝති මේ සඳහා ඔහු බන්ධනාගාරගත වී සිටි අවදියේ දැන හැදින ගත් මිනීමැරුම් චෝදනා මත බන්ධනාගාර ගත කොට සිටියදී ඉන් පැනගත් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පාතාල කල්ලියේ සාමාජිකයකු වු සුනිල් නැමැත්තෙකු තෝරා ගනී.

සුනිල් නැමැත්තා බන්ධනාගාරයෙන් පැනවිත් ජෝතිගේ ගෙදර මාස ගණනාවක් සැඟව සිටි අයෙකි. ජෝති මිනීමැරුම් කොන්ත්‍රාත් දෙකක් බාරගෙනය. ඒ රුක්මාන් සහ ඔහුගේ මස්සිනාය. ඔවුන් දෙදෙනාම ජෝතිට නිතර නිතර කරදර කරන්නට විය.

ඝාතනය පමාවීම ගැන. දිනක් රුක්මාන් ගෙ මස්සිනා ජෝතිට කතා කොට අත්තිකාරම් මුදල ලබාගෙන දින කීපයක් ගත වූවත් ඝාතනය නොකිරීම සම්බන්ධව බැන වැදුණේය. ජෝති වහා ක්‍රියාත්මක විය. ඔහු රුක්මාන්ව ඇමතුවේය. හලෝ... ඔන්න දැන් මගෙ යාළුවා එනවා මස්සිනා මරන්න අවශ්‍ය භාණ්ඩය (තුවක්කුව) ගේන්න යන්න එයත් එක්ක යන්න මම මස්සිනාව ඉක්මනින් ඉවර කරලා දෙන්නම්. එසේ පවසමින් ජෝති මි. මී. 9 වර්ගයේ පිස්තෝලය ඔහුගේ මිතුරා වූ සුනිල් අත තැබුවේය.

සුනිල් පිස්තෝලය බෑගයේ සූක්ෂ්ම ලෙස සඟවාගෙන පිටත් විය. මේ අතර රුක්මාන් සිය දියණිය ඔහුගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ තබා කලින් කථිකා කර ගත් පරිදි මස්සිනා ඝාතනය කිරීමට අවශ්‍ය තුවක්කුව ගෙන ඒම සඳහා ජෝතිගේ යහළුවා පැමිණෙන තුරු බලා සිටියාය. එහෙත් රුක්මාන් නොසිතන්න ඇති සුනිල් පැමිණෙන්නේ ඔහුව ඝාතනය කිරීමට බව. සුනිල් පැමිණියේය. රුක්මාන්ගේ යතුරු පැදියෙන් දෙදෙනා පිටත්වූහ. මද දුරක් ගිය පසු යතුරු පැදියේ පිටුපස ගමන් ගත් සුනිල් බෑගයේ තිබූ පිස්තෝලයෙන් ඔහුට වෙඩි තැබීමට උත්සාහ කළේය.

රුක්මාන්ට ඉවෙන් මෙන් එය තේරුම් ගියේය. තෝ මාව මරන්නද යන්නෙ කියා යතුරු පැදිය නැවැත්වීය. දෙදෙනාම පොර බදින්න වූහ. විනාඩි කීපයකින් සුනිල් බිම වැටුණේය. රුක්මාන් ඔහු වෙත පැන පිස්තෝලය උදුරා ගැනීමට උත්සාහ කළේය. සුනිල් ඔහුව දෙපයින් තල්ලු කර පිස්තෝලය පණ ගැන්නුවේය. වෙඩි පහර තුනක් රුක්මාන්ගේ උදරය පෙදෙස පසා කරගෙන ගියේය. රුක්මාන් ටික දුරක් දිවගොස් සුනිල් වෙත නැවත කඩා පැන්නේය. ඒ සමගම ඔහු විසින් තවත් වෙඩි පහර දෙකක් එල්ල කළේය. ඒ සමගම රුක්මාන් සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේය.

සුනිල් එම යතුරු පැදිය රැගෙන මූදුකටුව ප්‍රදේශයේ කොහු මෝලක් අසල දමා ජෝතිගේ නිවසට පැමිණියේය. පසුව ඔහු ඇඳ සිටි ඇඳුම් සියල්ල පුළුස්සා දැමීය. ඒ කිසිදු සලකුණක්වත් ඉතිරි නොවීමේ අදිටනින්ය. ජෝති සුනිල් අත රුපියල් පනස්දහසක මුදලක් තැබීය. ඔහුගේ ඇඟිලි තුඩු වලට සිරවී ඇත්තේ මිනිස් ජීවිතයක වටිනාකමද? ඝාතකයන් අල්ලා ගැනීම සඳහා හලාවත කොට්ඨාසයේ අපරාධ විමර්ශන හා මෙහෙයුම්බාර සහකාර පොලිස් අධිකාරී ඊ. එස්. දයාරත්න මහතාගේ විශේෂ අවධානය යොමු කළේ හලාවත කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් වෙතය.

ඒ එම ඒකකයේ ස්ථානාධිපති අරුණ ශාන්ත මහතා ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අපරාධ රැසක සුලමුල අනාවරණය කිරීමට හැකිවීම නිසාය. සහකාර පොලිස් අධිකාරී ඊ. එස්. දයාරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතා ඇතුළු කණ්ඩායම විමර්ශණ කටයුතු ක්‍රියාත්මක කළේය. හෝඩුවාවන් කීපයක් ඔස්සේ පෞද්ගලික ඔත්තුකරුවන්ද යොදා පරීක්ෂණ කටයුතු සිදු කළේය. දින කීපයකට පසු රුක්මාන්ශාන්ගේ මස්සිනාගේ රියදුරෙකු හා ඔහුගේ මිතුරෙකු සම්බන්ධ සැක පහළ විය. රියදුරාගේ මිතුරා ජෝතිය.

ජෝති යන එන තැන් හැසිරීම් රටාව දෛනිකව විමර්ශණය කරන්නට විය. ඔහුගේ පුතා 11 වසරේ ඉගෙනුම ලැබුවේය. ඒ සම වයසේ යහළුවෙක් ද තොරතුරු ලබාගැනීම සඳහා යොදවා තිබිණි. ඔහුගෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය. කාලයක් තිස්සේ එම නිවසේ රැඳි සිටි රාජගිරියේ සුනිල් පිළිබඳ තොරතුරු රැසක් ලබා ගැනීමට හැකි විය. මේ අනුව මුලින්ම ජෝති අත්අඩංගුවට ගැනිණි. සියලු තතු අනාවරණය කර ගැනීමට හැකිවූයේ ඉන් පසුවයි.

ඒ අනුව රුක්මාන්ගේ මස්සිනා රාජගිරියේ සුනිල් සහ මස්සිනාගේ රියදුරු අත් අඩංගුවට ගැනිණි’ ඝාතනය සඳහා උපයෝගී කරගත් මි. මී. 9 වර්ගයේ පිස්තෝලය, මි. මී. 9 වර්ගයේ උණ්ඩ 6 ක්, ජීව අත්බෝම්බයක් හා බෝර 12 පතොරොම් 4 ක්ද ඝාතනය සිදු කර පලාගිය යතුරු පැදියද අත්අඩංගුවට ගැනීමට හැකි විය. හලාවත කොට්ඨාස නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත, මාරවිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. ඩබ්ලිව්’ එස්. එදිරිසිංහ, සැරයන් ගුණරත්න (21837) පො. කො. සුදර්ශන (34991), පිරිස් (32081), අමරසිරි (41305), ජගත් (41421) සහ ප්‍රනාන්දු (41425) යන අය මෙම වැටලීම සිදු කිරීමට දායක වූවෝ වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]