කෝට්ටේ රජමහා විහාරාවාසී හිමිවරු ඝාතනයේ සැකකරුවෝ දෙදෙනා අප්‍රේල් 5 දක්වා රිමාන්ඩ්

කෝට්ටේ රජමහා විහාරාවාසී හිමිවරු ඝාතනයේ
සැකකරුවෝ දෙදෙනා අප්‍රේල් 5 දක්වා රිමාන්ඩ්

කෝට්ටේ රජ මහා විහාර වාසී පණ්ඩිත පිටිගල ජිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමිවරුන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනා ලබන මස 05 දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (23) නියම කළේය. සැකකරුවන් දෙදෙනා එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ හිමිවරු දෙනම ඝාතන සිද්ධියේ සැකකරුවෙක් ඊයේ (23) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු.
ඡායාරූපය - සුරන්ජිත් පෙරේරා

ආවරණය කෙරුණු සැකකරුවන් දෙදෙනා මිරිහාන පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පළමු සැකකරුගේ ඡායාරූප පුවත්පත්වල පළ වී තිබුණු හෙයින් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම පිළිබඳව විරෝධය පළ කරන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වා මහතා මතු කළ විරෝධය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

සැකකරුවන් දෙදෙනා ආවරණය කර ආරක්ෂා සහිතව අද (24) දකුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. සැකකරුවන් දෙදෙනා ජීන්ටෙක් ආයතනයට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසත් ඔවුනගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් තාවකාලිකව අත්හිටුවීමටද නියම කෙරිණි. ඝාතනයට යොදාගන්නා ලදැයි සැකකෙරෙන තියුණු තලයක් සහිත පිහියක් සහ සැකකරුවන් ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගැණුනු බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ පුවරු අතැතිව සාමකාමී විරෝධතාවයක නියැලී සිටිනු දක්නට ලැබිණි.

“නීතිඥවරුනි භික්ෂු ඝාතකයින් වෙනුවෙන් පෙනී නොසිටින්න”, “භික්ෂු ඝාතකයින්ට දැඩි දඬුවම් දෙනු”, “නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු” වැනි පාඨ එම පුවරුවල සඳහන් වී තිබිණි. සාමකාමීව රැස්ව සිටි එම පිරිස පොලිසිය සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා වෙත ආක්‍රමණශීලිව ළඟාවීමට ගත් උත්සාහය පොලිස් නිලධාරීහු ව්‍යර්ථ කළහ. සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පසු සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ භූමියෙන් පිටතට එන අවස්ථාවේදී රැස්ව සිටි අයගෙන් සමහරෙක් ඔහුට පහර දී රතු පැහැති දියරයක් සහිත කෝප්පයක් ඇඟට වීසි කර ඇතැයි ද වාර්තා විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා