ඇත්ත කියා බිම ඉඳගන්නට පෙර?

ඇත්ත කියා බිම ඉඳගන්නට පෙර?

නිර්මාණාත්මක හැකියාව හෙවත් ප්‍රතිභාව එක්කෝ ප්‍රඥාව ඔස්සේ ගලා එන්නේ ය. නැතහොත් උමතුව පිස්සුව ඔස්සේ ගලා එන්නේ ය. ලෙබනනයේ සදාකාලික මුනිවරයා ලෙස පිදුම් ලද ඛලීල් ජිබ්රාන් මේ අදහස පළ කළේ 1918 දී පමණ ය. වසර සියයකට ආසන්න කාලයක් ගෙවී ගිය තැන ජිබ්රාන් මුනිවරයාගේ මතය වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. අප එසේ කියනුයේ උක්ත අදහස ජනමාධ්‍ය සමඟ ගළපමින් ය.

ඕනෑ ම ජනමාධ්‍යයකට ඇත්ත – නැත්ත කළ හැකි ය. නැත්ත – ඇත්ත කළ හැකි ය. මහා බ්‍රිතාන්‍යයේ දී එය හතරවන ආණ්ඩුව වන්නේ ඒ නිසා ය. ජනමාධ්‍ය යන විෂය ඔස්සේ ද ජන මාධ්‍යකරුවා යන සාධකය ඔස්සේ ද විශාල බලයක් ගොඩ නැඟේ. එම බලය නිසි ලෙස යහපත් දිසාවකට යොමු කළහොත් රටකට හා ජාතියකට උසස් ප්‍රතිඵලයක් කරා ළඟා විය හැකි ය. එම බලය අනිසි ලෙස යොදමින් අයහපත් දිසාවකට යොමු කළ හොත් රටකට හා ජාතියකට විනාශය කරා ළඟා විය හැකි ය.

ඔබ දිනපතා උදෑසනින් අවදිවන්න! දිනයේ ප්‍රධාන සිදුවීම හා ප්‍රධාන චරිතය පසුපස හඹා යන්න! සියලු මත වලට කන් දෙන්න! නිවැරැදි ස්ථාවරයක දෙපස තබා යථාර්ථය හෙළි කරන්න! සටහන් පොත ළඟ තබා ගන්න! ඔබේ උරුමය, ඔබේ හැසිරීම දෙස බොහෝ දෙනා බලා සිටින බව අමතක නො කරන්න! ආධුනික ජනමාධ්‍යවේදීනට දිනපතා ම එබඳු උපදේශන ලැබේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ජන මාධ්‍ය ඉතිහාසය විමසා බලන විට එක් පිරිසක් විශිෂ්ට ජාතික සේවාවක නිරත වූ බව පැහැදිලි ය. තවත් පිරිසක් තම වගකීම් අමතක කොට රටට හා ජාතියට බලවත් විනාශයන් සිදුකර ඇති බව ද පැහැදිලි ය. සමහරු රැල්ලේ යති. තවත් අය ඩොලරය ට විකිණෙති. ඇතැම්හු ජාතිවාදයට හා බෙදුම්වාදයට කත් අදිති. තවත් ඇතැම්හු ප්‍රාදේශීයවාදයට, කුලවාදයට නැඹුරු වෙති. මේ ලෙසින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ ස්වකීය යුතුකම් හා වගකීම් පැහැර හරින පිරිස් අනන්ත ය. අප්‍රමාණ ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා ඉතා නිරවුල් ලෙස මේ බව හෙළි කළේ ය. ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ගැන නිදහස්ව කථා කිරීමේ හැකියාව හා සක්‍යතාව පවතී. එතුමා මේ විෂය ක්‍ෂේත්‍රය ගැන අත්දැකීම් සම්භාරයක් ඇති ජනමාධ්‍යවේදීන් ගේ සුන්දර හිතවතෙකි. නායකයෙකි. මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ දී අපූරු මතකයක් සිහියට නඟමින් කොළඹ කුණු ප්‍රශ්නය ගැන කතා කළේ ය. ජනමාධ්‍යවේදීන් එය පට්ට ගැසූ බවත් කොළඹ කුණු ඉවත් කොට නගරය සුන්දර ස්ථානයක් බවට පත් කළද දැන් ජනමාධ්‍ය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

විවේචන ඉදිරිපත් කිරීම සේ ම සත්‍ය වාර්තා කිරීමත් ජනමාධ්‍යවේදියා ගේ යුතුකම ය. රටේ යහපතට අදාලව සිදු කෙරෙන ධනාත්මක වූ ක්‍රියාදාමයන් දෙස දේශපාලන පාට කණ්ණාඩිවලින් නොබැලිය යුතු ය. ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් පවතින සමයේ ඇතැම් ජනමාධ්‍ය එහි ජයග්‍රහණ හෑල්ලුවට ලක් කළේ ය. තවත් ජනමාධ්‍ය එහි තොරතුරු විකෘති කළේ ය. සත්‍යයට වඩා අසත්‍ය මතු කළේ ය. යුද ජයග්‍රහණයෙන් පසු 2011 ජුනි මාසයේ “ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්” නමින් අන්තර් ජාතික සමුළුවක් කොලඹ ගලදාරී හෝටලයේ දී පැවැත් විණි. රුසියාව, චීනය, ජපානය, එංගලන්තය ඇතුළු රටවල් 42 ක ආරක්‍ෂක ප්‍රධානීහු ඊට සහභාගි වූහ. එහෙත් අප ගේ ජනමාධ්‍ය මේ සමුළුවේ වටිනාකම අවබෝධ කරගත් බවක් පෙනෙන්නට නොතිබිණි.

ශ්‍රී ලංකාවේ මහජනයාගේ මුදලින් උපාධි ලබා යළි විදේශ ශිෂ්‍යත්ව දිනා ශ්‍රී ලංකාවේ නාමයෙන් පිටරට ගොස් ඉගෙන ගන්නා ඇතැම් ජනමාධ්‍යවේදීහු එම අධ්‍යාපනයෙන් පසු රටට හා ජාතියට වින කටින්නට පටන් ගනිති. මේ පිළිබඳ අත්දැකීම් දහස් ගණනක් සොයා ගත හැකි ය. ජනාධිපතිවරයා සිය කථාවේ දී ඒ බව සඳහන් කළේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා කළේ යහපත් හා ආදර්ශවත් විවේචනයකි. උමතු ප්‍රතිභාවෙන් රටට හා ජාතියට නස්පැත්තිය ගෙන දෙන උගත් ජනමාධ්‍යවේදීනට එය කදිම පාඩමක් බව නො කියා බැරි ය.

ජිනීවා හි මානව හිමිකම් පිළිබඳ සමුළුවේ දී ශ්‍රී ලංකාව යම් පරාජයක් ලද මුත් ඊට වඩා වටිනා පාඩම් රාශියක් උගත්තේ ය. එකක් නම්; ජනමාධ්‍යයේ හැසිරීම ය. ශ්‍රී ලංකාවේ ම ජනමාධ්‍යවේදීහු ඩොලර් කිහිපකට, පිටරට සවාරියකට, එන්.ජී.ඕ රැකියාවකට සිය මවුබිම පාවා දෙන අන්දම අපට එහි දී දැක ගන්නට ලැබිණි. මේ යථාර්ථය හුඟ දෙනකුට වැටහෙන්නේ නැත. අන්තවාදියා ආකර්ශණීය ලෙස රංගනයෙහි යෙදෙන බවත්; ජනතාව බුද්ධිමත් ලෙස නො ව හැඟීම්බර ලෙස ඒවා නරඹන බවත් නීට්ෂේ කියා තිබේ.

රටක් – ජාතියක් ඔසවා තැබීමේ මහා ක්‍රියාවලියේ දී ජනමාධ්‍යවේදියා සතු කාර්ය භාරය අද්විතීය එකකි. එය විමර්ශනය කළ යුත්තේ බුද්ධියට එකඟව ය. නැතහොත් ප්‍රඥාවට එකඟව ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු ජන මාධ්‍යවේදීනට ඒ බව පෙන්වා දී තිබේ. ඇත්ත ලියා බිම ඉඳගන්නට පෙර එම කතාවේ සාරයට හිත යොමු කරන්න!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා