විපක්ෂය තාමත් ඉටුකර ගැනීමට බැරි සිහින දකිනවා

විපක්ෂය තාමත් ඉටුකර ගැනීමට බැරි සිහින දකිනවා

චන්ද්‍රසිරි ගජධීර

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමැති

ශ්‍රී ලංකාවේ සිදු වන පුනරුත්ථාපන කටයුතු හා බන්ධනාගාර සේවය තුළ ඇති කරන ප්‍රතිසංස්කරණ කටයුතු මෙරටට එල්ල වන මානව හිමිකම් චෝදනාවලට පදනමක් තිබේ ද යන කරුණු පිළිබඳ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

l බන්ධනාගාර හා පුනරුත්ථාපන කියන විෂය ඉතාමත් වැදගත් හා තීරණාත්මක සමාජීය වගකීමක් දරන විෂයක් විදිහටයි සමාජය දකින්නේ. විෂය භාර ඇමැතිවරයා ලෙස ඔබ මේ කරුණට එකඟ වෙනවාද?

අනෙක් අමාත්‍යාංශවලට වඩා මේ අමාත්‍යාංශයේ විශේෂත්වයක් වගේ ම විශේෂ වගකීමක් ද තිබෙනවා. වෙනත් අමාත්‍යාංශවල කාර්ය භාරය වෙලා තිබෙන්නේ රටේ ආර්ථිකය සංවර්ධනය වැනි පාර්ශ්ව සංවර්ධනය හා ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සැලැසුම් කිරීමයි. එහෙත් බන්ධනාගාර හා පුනරුත්ථාපනය කියන්නේ ඉන් එහා ගිය විෂයක්. අපගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ මානව සමාජ සංවර්ධනය හා වැරැදි නිසා සමාජයෙන් ඉවතට විසි වූ කොටස යළිත් සමාජයේ වැඩදායී විදිහට සමාජගත කිරීමයි.

l ඒ ගැන අපට වැඩි දුරටත් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

උදාහරණයකට ගනිමු යුද්ධය නිසා නොමඟ ගිය තරුණයන්. ඔවුන්ට අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු විද්‍යාත්මකව හා නිසි ලෙස සමාජගත කිරීම තමයි කළ යුත්තේ. අප දැනටමත් ඒ වැඩපිළිවෙළ ඉතාමත් හොඳින් සිදු කරමින් සිටින්නේ. එපමණක් නොවෙයි ත්‍රස්තවාදී කටයුතු නිසා හානියට පත් වූ පුද්ගලයන්ට අවශ්‍ය වන්දි ලබා දීම් අපගේ විෂය පථයට අයත් වෙනවා. ඒ වගේ ම බන්ධනාගාර ගත වූ සියල්ලන්ට අවශ්‍ය මානුෂීය රැකවරණය හා සහයෝගය ආධාර උපදෙස් වගේ ම අවශ්‍ය කරන වෘත්තීය පුහුණුවීම් ද සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

l සුළු වැරැදිවලට ලක්ව අවශ්‍ය දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ අයත් බන්ධනාගාරයට ඇතුළු වෙනවා. මෙවැනි පුද්ගලයන් පිළිබඳ සානුකම්පිතව බැලීමක් සිදුවන්නේ නැති ද?

සුළු වැරැදි පිළිබඳ චෝදනා එල්ල වූ අය බන්ධනාගාරයට ඇතුළු නොකර ප්‍රජා විශෝධන කටයුතුවලට යොමු කිරීම ආදී උපක්‍රම මෙහි දී භාවිතයට ගන්න පුළුවන්. එහි දී මානව සම්පත සමාජයට වැඩදායී ලෙස යොදා ගැනීම යන කරුණ ප්‍රධාන කොට ගන්නවා.

l ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ආකාරයේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල වෙනවා. පුනරුත්ථාපනය වැනි වැදගත් විෂයක් ආවරණය කරන ඇමැතිවරයා ලෙස ඔබ මේ චෝදනාවල පදනම දකින්නේ කොහොමද?

මෙතරම් මානුෂීය හා සහෝදරාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් යුද්ධයෙන් පසුව කිසිදු රටක සිදු වන්නේ නැහැ. අප අවි දරා නොමඟ ගිය තරුණ තරුණියන් දෙස බලන්නේ වෛරී ඇසකින් නොවෙයි. මානුෂීය හා සහෝදරාත්මක ඇසකිනුයි. යුද්ධයේ දී යටත් වූ හා බාර වූ අය පුනරුත්ථාපනය නොකළා නම් ඔවුන් බංකර් තුළ ම හෝ වනාන්තරයේ දී ම මිය යාමට ඉඩ තිබුණා. එහෙත් රජය හෝ ආරක්‍ෂක හමුදාව එවැනි පහත් තත්ත්වයකට පත් වුණේ නැහැ. ඔවුනුත් අපේම සහෝදරයන් ලෙස පිළිගෙන අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු සිදු කළා. එසේ පුනරුත්ථාපනය වූ අය අද යහපත් මිනිසුන් ලෙස ජීවන කටයුතුවල නියැලෙනවා. අප කියන දෙයක් නොවෙයි මෙය පුනරුත්ථාපනය වූ දෙමළ සහෝදරයන් පවා පිළිගන්නවා. ඒ නිසා අප රටට එරෙහිව මානව හිමිකම් පිළිබඳ චෝදනා එල්ල කිරීමේ කිසිදු සාධාරණ පදනමක් නැහැ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් අවුරුදු තිහ ඉක්මවා නොගිය අය, ඔවුන්ව කොටි සංවිධානය විසින් නොමඟ යවා තිබුණේ. සිංහල විරෝධී මතයක් ඇති කර ඔවුන් සිංහල සමාජය දැකලා නැහැ. මේ නොමඟ යාම නිවැරැදි කිරීමත් මේ පුනරුත්ථාපන කටයුතුවල මූලික නිර්මාණය වෙලා තිබෙන්නේ. මොවුන්ගෙන් විශාල පිරිසක් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් අය. මේ සියලු කරුණු ගත්තා ම පුනරුත්ථාපනය කිරීම ඉතාමත් හොඳ දෙයක් වගේ ම සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස ද හඳුන්වා දෙන්න පුළුවන්.

l දැනට කෙතරම් පිරිසක් පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවාද?

මධ්‍යස්ථාන 29 ක තරුණයන් 12000 පුනරුත්ථාපනය වුණා. දැනටමත් 11000 පමණ පිරිසක් සමාජගත කර තිබෙනවා. ඉතිරිව සිටින්නේ දහසකටත් අඩු ප්‍රමාණයක්. ඔවුන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දී යහපත් පුරවැසියන් විදිහට සමාජගත කිරීමට එහිදී එම තරුණ පිරිස ගේ පුනරුත්ථාපන කටයුතු සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කර තිබෙනවා. මෙය ඉතාමත් ඉහළ අගයකින් යුතු පුනරුත්ථාපන ක්‍රියාවලියක්. එහෙම නැතිව සම්ප්‍රදායික පුනරුත්ථාපන ක්‍රියාවලියක් නොවෙයි. මේ පුනරුත්ථාපන ක්‍රියාමාර්ග මඟින් ඔවුන්ගේ ත්‍රස්තවාදීන්ට පක්ෂපාති වූ විකෘති මානසිකත්වය බොහෝ දුරට දුරු කිරීමට පුළුවන්කම ලැබෙනවා. සමහර රටවල අරගල කළ පුද්ගලයෝ තාමත් සිරගෙවල්වල සිටින්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ රජය සිදු කළේ, සිදු කරන්නේ ෙඓතිහාසික මානුෂීය ක්‍රියාවලියක්.

l බන්ධනාගාර රැඳවියන් පිළිබඳ ඔබේ අමාත්‍යාංශය හරහා සිදු වන කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

බන්ධනාගාරවල සිටින්නන් සියල්ල ම වැරැදිකරුවන් හෝ සැකකරුවන්. සිරකරුවා අපරාධකාරයෙක්ය කියන මතය තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඒත් ඒ මතය වැරැදියි. අප කියන්නේ සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා. වැරැදි කළ අය තුළ පවා හොඳ ගතිලක්ෂණ තිබෙනවා. ඒ ගතිලක්ෂණ ඉස්මතු වෙන විදිහට අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු කිරීම තමයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ. සිරගත වූවන්ගෙන් 40% මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ වූ අයයි. ඔවුන්ට අවශ්‍ය කරන පුනරුත්ථාපන කටයුතු කරනවා. ඔවුන් සමාජයට වගකිව යුතු පිරිසක් බවට පත් කිරීම තමයි සිදු කළ යුතු කාර්ය වන්නේ. සිරකරුවකු කියන්නේ වහලෙක් නොවෙයි. අභිමානයක් ඇතිව ජිවත් විය යුතු කෙනෙක්. අප ඒ පිළිබඳ අවබෝධය ලබාදීමයි අපේ වගකීම. ලෝකයේ දියුණු වෙද්දී සිරගත වූවෙකු දිහා වූවත් සම්ප්‍රදායික ඇසෙන් බැලිය යුතු නැහැ. නවීන ඇසකින් බලා කටයුතු කළ යුතුයි.

l බන්ධනාගාරවල ඉඩකඩ තත්ත්වය පිළිබඳවත් චෝදනා එල්ල වෙනවා මේ පිළිබඳ විෂය භාර ඇමැතිවරයා ගත යුතු පියවර මොනවාද?

බන්ධනාගාරවල ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා තමයි. ඒ නිසා අලුත් ස්ථානවල ඉඩකඩ ඇති තැන්වල බන්ධනාගාර ස්ථාපිත කිරීම තමයි කළ යුත්තේ. මෙහි දී අපගේ ප්‍රමුඛ පරමාර්ථය වෙලා තිබෙන්නේ නැවත බන්ධනාගාර ඉදිකරනවාටත් වඩා බන්ධනාගාරවලට පුද්ගලයන් ඇතුළු වීම වැළැක්වීමයි. අද අපි මූලිකත්වය ගෙන කටයුතු කළ යුත්තේ එවැනි වැඩපිළිවෙළකටයි.

l ඔබේ විෂය මාතෘකාවෙන් බැහැරව අප පොදු දේශපාලන තත්ත්වය ගැන කතා කරමු. වත්මන් දේශපාලන වාතාවරණය ගැන ඔබේ මතය මොකක්ද?

රජය ඉතාමත් ශක්තිමත් තැනකයි සිටින්නේ. එහෙත් විපක්ෂය දෙකට තුනට බෙදී සිටින්නේ. එජාපය බලය වෙනුවෙන් දෙකට බෙදිලා. ජවිපෙ දෘෂ්ටිමය වශයෙන් දෙකට බෙදිලා. ආණ්ඩුවක් වෙත සාධාරණ විවේචන එල්ල කරන මඟ නොමඟ පෙන්වා දෙන විපක්ෂයක් අවශ්‍යයි. එහෙත් ඔවුන්ට ඒ ශක්තිය නැහැ. ආණ්ඩුවට තර්ජනයක් විය හැකි විපක්ෂයක් පෙනෙන තෙක් මානයක නැහැ.

ගම ශක්තිමත් කරන, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රමවේදය තුළ ගමේ මිනිහා ගේ හදවත් ගැස්ම ආණ්ඩුවට තේරුම් ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගෙන් ආණ්ඩුව දුරස් කරන්න බැහැ. ඒ නිසා තමයි ආණ්ඩුව පහුගිය කාලයේ පැවැති හැම ඡන්දයකින් ම අති විශාල ජනවරමකින් ජයග්‍රහණය කළේ. මේ වෙද්දි ගම වේගයෙන් දියුණු වෙනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ වාතාවරණය ඇතුළත ආණ්ඩුව දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් ශක්තියේ හීනවීමක් නැහැ.

ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ආර්ථික සංවර්ධන වේගය වැඩිවුණා පමණක් නෙවෙයි දළ දේශීය නිෂ්පාදනයටත් විශාල දායකත්වයක් ලබාදුන්නා. කලාපයේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමටත් මෙරටට පුළුවන්කම ලැබී තිබෙනවා.

මේ සියලු දේ සලකා බලද්දී අද ජනතාවට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව වෙනස් කිරීම නොවෙයි. මේ ආණ්ඩුවෙන් ලබා ගන්න පුළුවන් උපරිම සේවය ලබා ගැනීමටයි. විපක්ෂය මොන විදිහේ සිහින දැක්කත් ඔවුන්ට ඒ සිහින ඉටුකර ගැනීමට බැහැ. අද වෙද්දි එජාපයත් ජවිපෙත් ජනතාවගෙන් ඈත්වෙමින් යන දේශපාලන ව්‍යාපාර බවට පත් වෙමිනුයි තිබෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා