අලුත් අවුරුද්දට රජයෙන් CEYFISH  අලුත් ටින් මාළු

අලුත් අවුරුද්දට රජයෙන් CEYFISH  අලුත් ටින් මාළු

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින් මාළු කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ 1980 වසරේදීය. ඒ පේසාලේ හුරුල්ලා ටින් මාළු කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමත් සමගමය. එය පසුව විවිධ හේතු මත වසා දැමේ. ඉන් අනතුරුව මෙරට පෞද්ගලික අංශයෙන් ටින් මාළු නිෂ්පාදන කර්මාන්ත ශාලා කීපයක් සුළු පරිමාණ මට්ටමින් ආරම්භ විය. නමුත් මෙරට ටින් මාළු පරිභෝජනය සම්පූර්ණ කිරීමට ඒවාට නොහැකි විය.

අප රටේ ජනතාව සැමන් ටින් කිලෝග්‍රෑම් 51,444 (සැමන් ටින් 100,000 කටත් වඩා වැඩිය) ක් දිනකට පරිභෝජනය කරති. මේ සඳහා වසරකට කෝටි 512 ක් පිටරටට ඇදී යති.

එබැවින් මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව සැමන් ටින් මාළු මෙරටට නිෂ්පාදනය කරමින් පිටරටට ඇදී යන මහා ධනස්කන්දය වළක්වා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය සහභාගිත්වය යටතේ සැමන් ටින් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව රජයේ අනුග්‍රහයෙන් ඇරඹෙන පළමු සැමන් ටින් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලංකා ධීවර සංස්ථාවේ හා හැපි කුක් ලංකා ෆුඩ්ස් (පුද්ගලික) සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස 2012 අප්‍රේල් 03 දා ගාල්ල ධීවර සංස්ථා පරිශ්‍රයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. මෙහි දිනක නිෂ්පාදන ධාරිතාවය සැමන් ටින් 10,000 කි. මෙම ප්‍රමාණය මාස කීපයක් තුළ 12,000 දක්වා ද, ඉන් පසුව 20,000 දක්වා ද වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ලංකා ධීවර සංස්ථාවේ CEYFISH  කීර්තිමත් ලාංඡනය යටතේ වෙළඳපළට නිකුත් කෙරෙන ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක මිල දැනට අප රටේ විකුණන ආනයනික සැමන් ටින් එකක මිලට වඩා අඩුය.

ලංකා ධීවර සංස්ථාව සමඟ හැපි කුක් ලංකා ෆුඩ්ස් (පුද්ගලික) සමාගම මෙම සැමන් කර්මාන්ත ශාලාවේ හවුල් ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරති. ලංකා ධීවර සංස්ථාව වෙනුවෙන් එහි සභාපති මහිල් සේනාරත්න මහතා හා හැපි කුක් ලංකා ෆුඩ්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ එල්. ඩී. පතිරගේ මහතා මෙහි ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුමට අනුව එකී නිෂ්පාදන CEYFISH  ලංකා ධීවර සංස්ථා ලාංඡනය යටතේ බෙදා හැරේ. මෙම ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයේ සභාපති වන්නේ ලංකා ධීවර සංස්ථාවේ සභාපති මහීල් සේනාරත්න මහතා වන අතර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 3 දෙනෙකු පත් කෙරෙන්නේ හැපි කුක් ලංකා ෆුඩ්ස් සමාගමිනි. ගාල්ල සැමන් ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා රුපියල් ලක්‍ෂ 840 ක් ආයෝජනය කර ඇත.

මේ අනුව ඉදිරියේ ඉදිකෙරෙන පෑලියගොඩ හා මුන්දලම සැමන් ටින් කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 5000 ක් පමණ වේ. මෙම සැමන් ටින් කර්මාන්ත ශාලා 2 ආරම්භ වීමෙන් පසුව දිනක නිෂ්පාදන ධාරිතාවය සැමන් ටින් 50,000 ද ඉක්මවනු ඇත. එවිට මෙරටට සැමන් ටින් ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වේ.

වර්ෂ 2009 සිට 2011 වසර දක්වා සැමන් ටින් ආනයනය දෙස අවධානය යොමු කිරීමේදී දක්නට ලැබෙන්නේ සැමන් ආනයනය ක්‍රමයෙන් වැඩි වී ඇති ආකාරයයි. එසේම ඒ සඳහා ගෙවන ලද මුදල ද ක්‍රමයෙන් වැඩි වී තිබේ.

ඒ අනුව 2009 වසරේදී සැමන් ටින් මෙට්‍රික් ටොන් 13,546 ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කරන මුදල රු. මිලියන 3,536 කි. 2010 වසරේදී සැමන් මෙට්‍රික් ටොන් 16,705 ක්, රු. මිලියන 3,772 ක් වැය කරමින් ආනයනය කර ඇත. එය 2011 දී මෙට්‍රික් ටොන් 18,777 දක්වා වර්ධනය වී ඇති අතර ඒ සඳහා වැය කරන ලද මුදල රු. මිලියන 5118 ක් විය.

මේ සා විශාල ධනස්කන්ධයක් විදේශ රටවල්වලට ඇදී යාම රටේ ආර්ථිකයට බලවත් පහරකි. එමනිසා එකී මුදල මෙරටට ඉතිරි කර ගැනීමට පියවර ගැනීම අපගේ ආර්ථිකයට ඉමහත් සවියක් වනු නොඅනුමානය.

ටින් මාළු ආනයනය

වසර     ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)     මිල (මිලියන)

2009     13,546         3,536

2010     16,705         3,772

2011     18,777         5,118

සැමන් ටින් වලට අමතරව කරවල, වියළි හාල්මැස්සන්, උම්බලකඩ ද පිටරටින් මෙරටට ආනයනය කරති. ඒ සඳහා විශාල මුදලක් වර්ෂයක් පාසා පිටරටට ඇදී යති. මේ අනුව 2011 වසරේදී කරවල මෙට්‍රික් ටොන් 19,589 ක් මෙරටට ආනයනය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 2708 ක් හෙවත් කෝටි 270 ක් වැය කර තිබේ. වියළි හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 27,593 ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කරන ලද මුදල රු. මිලියන 4328 කි.

එසේම උම්බලකඩ මෙට්‍රික් ටොන් 2769 ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා රු. මිලියන 1358 ක් වැය කර තිබේ. මේ අනුව අප 2011 වසරට පමණක් මේ ආකාරයට සැමන් ටින් ඇතුළු මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් 81,957 ක් ආනයනය කර තිබේ.

ඒ සඳහා වැය කරන ලද මුදල රු. මිලියන 16,240 ක් හෙවත් රු. කෝටි 1624 කි. එසේම අප මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් 18,462 ක් විදේශීය රටවල් සඳහා අපනයනය කර ඇති අතර එමඟින් ලද ආදායම රු. මිලියන 21,876 ක් හෙවත් රු. කෝටි 2187.6 කි. මේ අනුව ආනයන අපනයන වෙළෙඳ වාසිය රුපියල් මිලියන 5636 ක් හෙවත් කෝටි 563.6 කි.

මේ තත්ත්වය තුළ අප පිටරටින් ආනයනය කරන කරවල, හාල්මැස්සන් හා උම්බලකඩ අප රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සැලසුම් කර තිබේ. මේ ඉලක්කය ජයග්‍රහණය සඳහා මෙරට මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් වර්ධනය කර ගත යුතුය.

ඒ සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ නිසාම 2009 වසරේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 339,730 ක් වූ අතර එය 2011 වන විට මෙට්‍රික් ටොන් 440,830 ක් දක්වා මෙට්‍රික් ටොන් 100,000 කින් වැඩි කර ගැනීමට අමාත්‍යාංශය සමත්ව සිටීම සුබදායක පෙර නිමිත්තකි. මේ අනුව වර්ෂ 2013 වන විට අප අමාත්‍යාංශය ඉලක්ක කර තිබෙන මෙට්‍රික් ටොන් 686,000 ක මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීමට හැකිවනු නොඅනුමානය.

මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කරන ලද ප්‍රකාශයකින් මෙම සටහන සමාප්ත කරමි.

”මේ ආයතනයේ දවසකට නිෂ්පාදනය කරනවා සැමන් ටින් 10,000 ක්. ධීවර සංස්ථාව වෙළඳ කටයුතු සඳහා බැඳී සිටිනවා. මෙහි ලාංඡනය ලෙස සී. ෆිෂ් ධීවර සංස්ථා ලාංඡනය යොදා ගන්නවා. මේ ව්‍යාපාරය දේශීයත්වය අගයන ව්‍යාපාරයක්. අද අපි මේවා නිකුත් කරනවා වෙළඳපළට ඉතාම අඩු මුදලකට. දෙවැනි කර්මාන්ත ශාලාව ආරම්භ කරනවා. තවත් කර්මාන්ත ශාලා 3 ක් නුදුරු අනාගතයේදීම පටන් ගන්නවා.

ලබන වසර අවසන් වන විට ලංකාවට අවශ්‍ය සියලුම ටින් මාළු කර්මාන්ත ශාලා ආරම්භ කරනවා. ඒ වගේම වසරකට මෙට්‍රික් ටොන් 6000 – 8000 ක් අතර ප්‍රමාණයක් උම්බලකඩ පරිභෝජන කරනවා. ලබන වසර අවසන් වීමට පෙර ලංකාවට අවශ්‍ය මාළු, උම්බලකඩ ප්‍රමාණයම මෙරටේ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා ජපානයේ ඉන්න අංක එකේ නිෂ්පාදකයා පැමිණෙනවා.

මේ වසර අවසන් වීමට පෙර උම්බලකඩ කර්මාන්තශාලාව කළුතර කර්මාන්ත පුරයේ පිහිටුවන්න සැලසුම් කරගෙන යනවා. මේ කර්මාන්ත ශාලාවෙන් දහස් ගාණකට රැකියා දෙන්න පුළුවන්. එතකොට පිටරටින් උම්බලකඩ ගෙන්වන්න අවශ්‍ය නෑ. මගේ බලාපොරොත්තුව එන අවුරුද්ද වෙනකොට ඩොලර් මිලියන 400 ක විතර ප්‍රතිලාභයක් විදේශ විනිමය ලබා දීමට. අපි මිලියන 21,000 ක් විදේශ විනිමය හොයන කොට මිලියන 14,000 ක විදේශ විනිමය අපිට වැය වෙනවා. අපිට ඉතුරු වෙන්නේ මිලියන 7000 යි. ඒ නිසා මේ වියදම අඩු කිරීම තමයි මගේ ප්‍රයත්නය.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා