රට සංවර්ධනයට රණවිරු දායකත්වයෙන් බිලියන දහස් ගණනක ඉතිරියක්

රට සංවර්ධනයට රණවිරු දායකත්වයෙන්

බිලියන දහස් ගණනක ඉතිරියක්

2011 විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙයි

යුද්ධයෙන් පසු මෙරට ත්‍රිවිධ හමුදාව බැරැක්කවලට සීමා නොකර රටේ සංවර්ධනයට දායක කර ගැනීමෙන් මෙරට සහ පිටරට පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලට ගෙවීම් කළ බිලියන දහස් ගණනක මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව ත්‍රිවිධ හමුදාව යුද්ධයෙන් පසු රටේ සංවර්ධන කටයුතුවලට හවුල්කර ගැනීම ආරම්භ කෙරිණි.

යුද්ධයෙන් පසු මෙරට හමුදාව බැරැක්කවලට සීමා කළේ නම් ඔවුන් නඩත්තු කිරීමට සිදුවෙන්නේ මහජනතාවගේ මුදල්වලින්ය.

මෙවැනි ඵලදායි වැඩපිළිවෙළකට ඔවුන් යොදා ගැනීම පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා 2011 නිකුත් කළ වාර්තාව හරහා ප්‍රශංසනීය ඇගයීමකටද ලක්කර තිබේ.

විශේෂයෙන් නගර අලංකරණ ව්‍යාපෘති, මහාමාර්ග ඉදිකිරීම, ජාත්‍යන්තර ක්‍රීඩා පිටි, ධාවන පථ, නිවාස සහ පොදු ගොඩනැගිලි, ශ්‍රීපාද පඩි පෙළ ඉදිකිරීම, සත්ව පාලනය හා ගොවිපලවල් පවත්වාගෙන යාම, එළවළු පළතුරු ප්‍රවාහනය, උතුරු දුම්රිය මාර්ග, සංචාරක නිකේතන සංවර්ධනය, රෝහල් පිරිසුදු කිරීම, රට තුළ සෞඛ්‍ය ආශ්‍රිත කටයුතු පවත්වාගෙන යාම, පානීය ජල ව්‍යාපෘති, වාරිමාර්ග පහසුකම් නඩත්තු කිරීම, මහා මාර්ග නඩත්තුව, සමාජ සේවා, පුනරුත්ථාපන කටයුතු, ආපදා කළමනාකරණයට සහාය වීම ත්‍රිවිධ හමුදාව අතින් සිදුකෙරෙන බවය.

යුද්ධ කාලයේදී අතහැර දමා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් වූ උදයාකට්ටිකුලම් පලතුරු වගාව, නාච්චිකුඩා කජු වගාව, වෙල්ලිකුලම් කෙසෙල් වගාව මේ වන විට හමුදාව මගින් ආරම්භ කර පලදාව අපනයනය කර විශාල ආදායමක් උපයමින් තිබේ.

යුද හමුදා නිලධාරින් 101 සෙසු නිලයන් දහසකට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සාම හමුදාව නියෝජනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් ලබා ඇති බවද අනාවරණය වෙයි.

උතුරු නැඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම හමුදාව අතින්ම සිදුවීම නිසා ජාත්‍යන්තර සමාගම්වලට ගෙවීමට සිදුවන කෝටි ගණනක මුදලක්ද ඉතුරු වී ඇති බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවලින් පෙන්වා දෙයි.

යුද්ධය නිම කිරීමේ ගෞරවය තුළින් ත්‍රිවිධ හමුදාව විශාල තෘප්තියක් ලබන අතර රටේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී විශාල ධනස්කන්ධයක් මෙරටට ඉතුරු කරලීම පමණක් නොව ඔවුන්ගේ දෑතින් එම ව්‍යාපෘති නිමකිරීමේ තෘප්තියත් ඔවුන්ට ලැබෙන බවද විගනකාධිපති වාර්තාව එම කාර්යභාරය අගයමින් තවදුරටත් පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා